රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.පසුගිය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ පළමු අයවැය ලේඛනය අනුව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා අගයන් කප්පාදු කරන ලද අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කරන ලද වෘත්තීය සටනක් අවසානයේ එම අගයන් පෙර තිබූ තත්ත්වයටම රැගෙන ඒමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කරන ලදී.ඒ අනුව අයවැය ලේඛනයට ගරු ජනාධිපතිවරයා විසින්ම සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර ඊට අනුකූලව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛය 2023.03.25 නිකුත් කරන ලදී.එම මාර්ගෝපදේශයන්ට යටත්ව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා අගයන් සහිත චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් 2025.04.28 දින නිකුත් කරන ලදී.එහෙත්, එම සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛයේ වැරදි සහ දෝෂ ගණනාවක් නිරීක්ෂණය විය. එහිදී අමතර රාජකාරී දීමනා අගයන් ගණනය කිරීම වැරදි ලෙස දක්වා තිබුණු අතර මූලික ප්‍රතිපත්තිමය සහ තාක්ශණික කරුණු ගණනාවක් ද උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය විය.රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය එම චක්‍රලේඛයට විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර, 2025.04.29 දින සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු වගකිවයුතු බළධාරින් සමඟ පැවති සාකච්ඡාවේදී එම වැරදි නිවැරදි කරමින් වහාම නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟ විය.මේ වන විට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කර මාස 02ක් ගතවී තිබුන ද, තවමත් නිවැරදි කරන ලද චක්‍රලේඛය නිකුත් කර නැත. අමතර රාජකාර දීමනා ලබා ගැනීමේදී වෛද්‍යවරුන් ගැටලු ගණනාවකට මුහුණ දෙමින් පවතී. ගැටළු සහ අපහසුතා ගණනාවක් මධ්‍යයේ සේවය කරන වෛද්‍යවරුන් මේ හරහා තවත් පීඩාවට පත්ව ඇත.මේ සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා, මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය කඩිනම් මැදිහත්වීම සිදු නොකිරීම තුළ මෙම ගැටලුව අනවශ්‍ය අර්බුදයක් කරා ගමන් කරමින් පවතී.ජනාධිපතිවරයා විසින් ලබාදුන් තීරණය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලද තීරණ පවා ක්‍රියාත්මක නොකිරීම තුල සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීම පිටුපස කුමන බලවේග ක්‍රියාත්මක වන්නේ දැයි විමර්ශනය කල යුතු අතර, නිවැරදි කරන ලද චක්‍රලේඛය සතියක් ඇතුලත වහාම නිකුත් කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් අවශ්‍ය වුවහොත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට පවා එළඹීමට සිදුවන බවත් විධායක සභාව තීරණය කරන ලදී.






















