ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කර සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ආපසු වැඩම කිරීමේදී බැතිමතුන්ට වන්දනා කිරීමට මෙවර අවස්ථාව නොලැබෙන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසති.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන 27වන දිනෙන් අවසන් වේ.
ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූවේ, එදින අලුයම යෙදී ඇති සුභ නැකතින් ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සාධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩවලින් කොටසක් වැඩම කරවීමට නියමිත බවය.
නිරෝධායන උපදෙස්වලට අනුකූලව යුද හමුදාවේ භට පිරිස් විසින් රත්නපුර පලාබද්දර මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහැරකින් එලෙස වැඩම කරවීමට නියමිතය.
අනෙක් පෙරහැර ශ්‍රී පාද උඩමළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා එදින පස්වරුවේ වැඩම කෙරේ.
එහිදී එක් රිය පෙරහැරකින් නල්ලතන්නිය, බගවන්තලාව, බලංගොඩ හරහා ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වාත් තවත් රිය පෙරහැරකින් නල්ලතන්නිය, ලක්ෂපාන, යටියන්තොට, අවිස්සාවේල්ල, රත්නපුර හරහා ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වාත් වැඩම කරනු ඇත.






















