සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් සිදුකරන පදනම් විරහිත විවේචන සහ අපහාස කිරීම් සැලකිල්ලට ගනිමින් සමාජ මාධ්‍ය යම්කිසි නියාමනයකට ලක්කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බව මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා පවසති. සමාජයේ සෑම අංශයකටම පහරදීමට ඇතැමුන් සමාජ මාධ්‍ය භාවිත කරන අතර, ඒ පිළිබඳව විවේචනයක් පවා කිරීමට නොහැකි තත්ත්වයක් වර්තමානයේ උද්ගතව ඇති බව උන්වහන්සේලා අවධාරණය කරති.
මෙරට දරු පරපුර සමාජ මාධ්‍යවලින් සිදුවන හානිකර බලපෑම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා ආගමික නායකත්වයේ මැදිහත්වීම අපේක්ෂා කරමින් ජාතික මාධ්‍ය පදනම විසින් කරුණු 10කින් යුත් යෝජනාවලියක් සකස් කර තිබේ. වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා ආරක්ෂිත මාධ්‍ය උපමාන සහ ආචාරධර්ම මාර්ගෝපදේශ සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන මෙම යෝජනාවලිය පසුගිය 13 වනදා මහානායක හිමිවරුන් දෙනම වෙත පිළිගන්වන ලදී.
එම අවස්ථාවට එක්වෙමින් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළේ කොරෝනා සමයේ අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීම නිසා වයස අවුරුදු 16ට අඩු දරුවන් අතට ජංගම දුරකථන බහුලව ගිය බවයි. අන්තර්ජාලය ඔස්සේ යහපත් දේට වඩා අයහපත් දේ ග්‍රහණය කරගන්නා දරුවන් සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ක්‍රියාකාරකම්වලට යොමුවී අවසානයේ සියදිවි නසාගන්නා තත්ත්වයන් පවා අසන්නට ලැබෙන බව උන්වහන්සේ සඳහන් කළහ. සමාජ මාධ්‍ය නියාමනය ගැන කතා කිරීමට පවා බොහෝ දෙනා බිය වන පසුබිමක ජාතික මාධ්‍ය පදනම මේ සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැඟීම ද උන්වහන්සේගේ ඇගයීමට ලක්විය.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියන් පෙන්වා දුන්නේ ඇතැම් පාසල් සිසුන්ගේ ජීවිතයම ජංගම දුරකථනය බවට පත්ව ඇති බවයි. තරුණ පරපුර මත්ද්‍රව්‍ය හා මත්පැන් වෙත යොමුවීමට ද සමාජ මාධ්‍ය යම් බලපෑමක් සිදු කරන බව උන්වහන්සේ පැවසූහ.
එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සඳහන් කළේ සමාජ මාධ්‍ය ඇබ්බැහිය ගිහි සමාජයට මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන් ඇතුළු පැවිදි සමාජයට ද බලපා ඇති බවයි. කෙනෙකු ගොඩනඟාගත් කීර්තිනාමය මොහොතකින් විනාශ කර දැමීමට සමාජ මාධ්‍ය සමත්ව ඇති බැවින් මෙම ව්‍යසනයෙන් ළමා පරපුර මුදාගැනීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මේ පිළිබඳව අදහස් දැක්වූ ජාතික මාධ්‍ය පදනමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සඳහන් කළේ මනුෂ්‍යත්වය ප්‍රවර්ධනය කිරීමට සමාජ මාධ්‍ය යොදාගැනීමේ අවශ්‍යතාවක් ඇති බවයි. යුරෝපීය රටවල් සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම ඇතුළු නියාමන පියවර ගෙන තිබුණ ද, මෙරට සමාජ මාධ්‍ය නියාමනයට ගෙන ආ මාර්ගගත පනත දැනට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.























