අනෝජන්ට නිදහස ලබාගැනීමට අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මෙරට විශේෂ නීතීඥ කණ්ඩායමක් මේ වන විට සෞදි අරාබියට ගොස් තිබේ.
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ මරණ දඩුවම නියමවී ඇති බව පැවසෙන සිවරාසා අනෝජන්ට නිදහස ලබාගැනීම සහ ඉදිරි නීති කෘත්ය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ නීතීඥ කණ්ඩායමක් ඊයේ දින (06) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.
මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන අසාද් නවාවි, ජනාධිපති නීතීඥ හෆීල් ෆාරීස් සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම ඇතුලත් වේ.
සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන යම් යම් ගැටුම්කාරී තත්ත්වයන්ද නොසලකා මෙම පිරිස අනෝජන් බේරා ගැනීමේ මෙහෙයුම සඳහා පිටත්ව යෑම විශේෂත්වයකි.
විශේෂයෙන්ම ඊයේ දිනයේදීද සෞදි අරාබියේ ඇතැම් ඇමරිකානු ඉලක්ක වෙත ප්රහාර කිහිපයක් එල්ල වී තිබූ අතර එම ප්රහාර සහ එහි වර්තමාන තත්ත්වයන්ද නොසලකා හරිමින් මෙම පිරිස අනෝජන් බේරා ගැනීමේ මෙහෙයුමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.






















