කුමන හෝ පාර්ශ්වයක් පාර්ලිමේන්තුවේ 113ක බහුතර සහාය පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවසූ බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ඒ උද්ගත වී ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කර තිබූ පසුබිමකය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට අද පස්වරුවේ තීන්දු කළේය.
රට පුරා උද්ගතවූ නොසන්සුන් වාතාවරණයත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හදිසි සාකච්ඡාවක් ඊයේ (03) පස්වරුවේ පැවැත්වුණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් අමාත්‍යවරු ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විය.
එහිදී කැබිනට් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබූ අතර ඊට අදාළ ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී තිබුණි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබුණේ නැහැ.
මේ අතර දයාසිරි ජයසේකර මහතාද ඔහු දැරූ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් හා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇය දැරූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා වෙත දැනුම්දි තිබේ.
සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි භාරදී ඇති මේ අවස්ථාවේදී තමා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදුන් බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අද දහවල් නිවේදනය කළේය.
මෙවන් පසුබිමක අමාත්‍යධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම්සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම්කර තිබේ.
ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවියයුතු බැවින් සමස්ත රටවැසියන් හා උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතු බවය.
මේ අතර පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරු සිව්දෙනෙකු පත්කළ බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා හා සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
අදාළ පත්කිරීම්වලින් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු කොටුව ජනාධිපති මන්දිරය වෙත කැඳවා තිබුණි.
ඊට මන්ත්‍රීවරු 132 දෙනෙකු සහභාගි වී සිටි බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ,






















