සහරාන් ගැන සෙවීමට පත්කළ බුද්ධි නිලධාරියා වසර 05ක් රිමාන්ඩ් කරලා
පාස්කු ඉරුදින මෙරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවූවක් යැයි තමන් විශ්වාස කරන බව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (05) සාක්ෂිදෙමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ බුද්ධි තොරතුරු නිසි පාර්ශ්වයන් අතට පත් නොවීම මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමට හේතුවූ බවය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ පෙනී සිටියේ පළමු දිනටයි.
එහිදී කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ, 2004 වර්ෂයේ සිට සහරාන් හෂීම් පිළිබඳ සොයාබැලීමට යුධ හමුදා බුද්ධි අංශ යොදවා තිබු බවය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “සහරාන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර තිබූ බුද්ධි අංශ නිලධාරියා පසුකාලීනව අවුරුදු 05ක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණා. බුද්ධි අංශ දුර්වල කළා. ඔවුන්ගේ කොඳුනාරටිය කඩලා තිබුණා. බුද්ධි අංශ ආරක්ෂා කරන්න ගිහින් තමයි මම අදටත් රිමාන්ඩ් ඇප දුන්න චූදිතයෙක් වෙලා ඉන්නේ,”යන්නය.
මාවනැල්ල බුදු පිළිම කැඩීම, වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යන සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදී මාර්ගයේ ගමන් නොකිරීම හේතුවෙන්, විමර්ශන නොමග යෑමක් සිදුවූ බවත් එමනිසා මෙවැනි ප්‍රහාරයක් සිදුවීම වළක්වාගත නොහැකි වූ බවත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේ, “ස්වාමිනි, ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්යක්ෂවරයාව සිටි නිලන්ත ජයවර්ධන මහතාට අප්‍රේල් 04 ලැබුණු තොරතුර ත්‍රිවිධ හමුදා ප්‍රධානින්ට දැනුම්දුන්නේ නැහැ. බුද්ධි තොරතුරක් ලැබුනම Credit එක යන්නේ කාටද කියලා බලාගෙන වැඩකරන්නේ නැහැ. ඒ තොරතුර ලැබී තිබුනේ ඉන්දියාවෙන්. අපිට ඒ තොරතුර දැනුම් දුන්නානම් අප්‍රේල් 08 ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ලංකාවට පැමිණි අවස්ථාවේ අපි ඒ ගැන යම් වැඩිදුර තොරතුරක් දැනගන්නවා. ඒ නිසා විදෙස් බුද්ධි අංශයකින් ලද ඒ තොරතුර වගකිවයුතු නිසි බලධාරින්ට දැනුම් නොදීම නිලන්ත ජයවර්ධන අතින් සිදුවුණ බරපතළ අඩුපාඩුවක්. බුද්ධි තොරතුරු ලැබිය යුතු නිසි පාර්ශ්වවලට නොලැබීම නිසයි මෙහෙම තත්ත්වයක් ඇතිවුණේ,” යැයි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පැවසීය.
මෙහිදී ජනාධිපති කොමිසම විමසා සිටියේ, “අප්‍රේල් 20 දින, හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල වන බවට වූ බුද්ධි තොරතුරක් ඔබ දැනුවත් වුයේද?,” යන්නය.
“නැහැ. මම එදා කොළඹින් පිට හිටියේ. යුධ, නාවික, ගුවන් කිසිම හමුදා ප්‍රධානියෙක් ඒ තොරතුර ගැන දැන සිටියේ නැහැ. නමුත් ඒක අපිට දැනුම්දෙන්න ඕනෑ තරම් සන්නිවේදන ක්‍රම තිබුණා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා ඔහුට ඉහළින් ඉන්න අයට කිව්වා. නමුත් දැනගත යුතු පහළ භූමියේ නිලධාරින් දැනුවත් කරේ නැහැ.” යැයි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා කියා සිටියේය.
කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, “ස්වාමිනි, කාන්තන්කුඩියේ යතුරුපැදිය පුපුරුවා හරිමින් කළ පෙර පුහුණුවයි, කොච්චිකඩේ වෑන් රථයක් තුළ සකස් කර තිබුණු බෝම්බයයි දැක්කාම පේනවා මේක කොතරම් සැලසුම් සහගතවද කරේ කියලා. ඒ වගේම මේකට සම්බන්ධ වුනෙත් විදෙස් රටවල අධ්‍යාපනය ලබපු දැනඋගත් පිරිසක්. මේක ලංකාවේ Plan කරපු දෙයක් නෙමේ. විදෙස් රටක ත්‍රස්තවාදි කණ්ඩායමක පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවුණ ප්‍රහාරයක්. අයි.එස්. ටාර්ගට් එක මේ ප්‍රහාර මාලාව තුළත් ඉතාම පැහැදිළි යි. අයි.එස් සංවිධානයත් ටාගට් කරේ කතෝලික පල්ලි, යුරෝපා සංචාරකයින්. මෙතනත් එලෙසමයි. ඕනෑම ත්‍රස්තවාදි කණ්ඩායමක නායකයෙක් මරාගෙන මැරෙන්නේ නැහැ. ඔහු පිටුපස ඉන්නේ. සහරාන් කියන්නේ මෙරට මේ ප්‍රහාර මාලාව මෙහෙයවපු අනුගාමිකයෙක් විතරයි. ඔහු නායකයෙක් නෙමේ,” යනුවෙනි.
මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික හිටපු අමාත්‍ය ලේකම්වරිය විමසා සිටියේ සිලාවතුර නාවික හමුදා කඳවුර ඉවත් කරන ලෙස කිසියම් බලපෑමක් පැවතියේ ද යන්නය.
එයට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පැවසුවේ, “හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එම කඳවුරු ඉවත් කිරීමට විශාල වුවමනාවක් පැවතියද, එහි තිබූ වැදගත්කම නිසාම එය ඉවත් කිරීමට අපි ඉඩ දුන්නේ නැහැ,” යනුවෙනි.






















