වාහන එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට සැලසුම්
මොටර් රථ එකලස් කිරීම හා මෝටර් රථ අමතර කොටස් නිපදවීම තුළින් දේශීය සහ අන්තර්ජාතික මෝටර් රථ වෙළෙඳපොළ ජය ගැනීම මූලික අරමුණක් බව රජය පවසයි.
ඒ අනුව මෙරට වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම ඊයේ (15) සිදු කෙරුණි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකස්කර ඇති වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකදී එළිදැක්වනු ලැබීය.
මෙහිදී ඊට අදාළ නිල වෙබ් අඩවිය එළි දැක්වීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකර තිබේ.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, “ක්‍රමයක් වෙනස් කරන්න හදනකොට විවිධ බාධක ඇති වෙනවා. නමුත් සාර්ථක ක්‍රමයක් හඳුන්වලා දුන්නාම ඒ හැමෝම වැඩපිළිවෙල සමග එකතු වෙනවා. වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් මීට පෙර තිබුණේ නෑ. මෙය අපේ රටේ කර්මාන්ත ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙයි,”යනුවෙනි.
“අපි අද එළිදක්වන මේ, වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් මේ ක්ෂේත්රයේ ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන අය වෙනුවෙන් පදනම ස්ථීරසාරව සකස් කිරීම සිද්ධ වෙනවා,” යනුවෙන් එම උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.






















