ගුවන් තැපෑලෙන් සහ මුහුදු තැපෑල මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබූ සැක සහිත පාර්සල් කිහිපයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී එනසාල් කිලෝග්‍රෑම් 600කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
ඒ, ශ්‍රී ලංකා රේගුව මගින් සිදුකළ පරීක්ෂාවකදී ය.
ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ කේ. පී. ද අල්විස් මහතා පැවසූවේ තැපැල් දෙපාර්තමේන්තුව හරහා අදාළ පාර්සල්වල අයිතිකරුවන්ට දෙවරක්ම දන්වා තිබුණත් ඔවුන් නොපැමිණි බවය.
අදාළ පාර්සල් ස්කෑන් පරීක්ෂාවේදී සැක සහිත පාර්සල ලෙස හඳුනාගැනීම හේතුවෙන් වැඩිදුර පරීක්ෂාව සඳහා රඳවාගෙන තිබූ බවද ඔහු පැවසීය.
පාර්සල් 22ක් පමණ එලෙස පරීක්ෂාවට ලක්කර තිබුණි.
නියෝජ්‍ය රේගු අධ්යක්ෂ කේ. පී. ද අල්විස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ එනසාල් තොගය රාජසන්තක කිරීමට පියවර ගන්නා බවය.
2020 අගෝස්තු මස 17 නිකුත් කෙරුණු විශේෂ ගැසට් නිවේදනය අනුව එනසාල් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් වේ.






















