දේශීය තරුණ ව්‍යවසායකයන්ට සහ නිෂ්පාදකයන්ට නව වෙළෙඳපොළ අවකාශයක් සහ නව ඇණවුම් සඳහා ඉඩකඩ නිර්මාණය කර දීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දීපව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘ලක්කම් අලෙවි සල්පිලෙහි’ අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අද (29) කොළඹ දිස්ත්‍රික් සමාරම්භක ලක්කම් අලෙවි සල්පිල දියත උයනේදී විවෘත කරමින් ඒ මහතා මෙසේ පැවසීය.
“ලක්කම් අලෙවි සල්පිල, නමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය නිපැයුම් අලෙවි ප්‍රදර්ශනයක් හා අලෙවි පොළක් රට පුරා පැවැත්වීමට නියමිතයි. අද (29) කොළඹ දියත උයනේ දී විවෘත වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සමාරම්භක අලෙවි සල්පිලයි. එය 30 සහ 31 දෙදින තුළත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ රටේ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා නිෂ්පාදකයන්ට තිබෙන වෙළඳපොළ අවකාශය ඉතා සුළු නිසා එය පුළුල් කර දීම හා නව ඇණවුම් ලබා ගැනීමට අවකාශය සලසා දීම මෙහි අරමුණයි.
එසේ කටයුතු කර විශේෂයෙන් තරුණ දේශීය ව්‍යවසායකයා දිරිගැන්වීම හා බල ගැන්වීම අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ද එහිදී කර්මාන්ත අමාත්‍යවරයා පැවසීය.
මේ වනවිට කෑගල්ල, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර තුනක ලක්කම් අලෙවි සල්පිල් පවත්වා ඇති අතර ඉදිරි දිනවලදී අනුරාධපුර, ගාල්ල මාතර දිස්ත්‍රික්කවල අලෙවි සල්පිල් පැවැත්වීමට නියමිතය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙහි ලියාපදිංචි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේශීය නිපැයුම් එම ලක්කම් අලෙවි සල්පිලවලදී මිලදී ගැනීමට මෙරට දේශීයත්වය අගයන ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පවසයි. මේ වසර අවසන් වන විට මෙවැනි ලක්කම් අලෙවි සල්පිල් 200ක් රට පුරා පැවැත්වීමට ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇත.






















