නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි, සංවර්ධනය කරන ලද හොරණ පොදු වෙළඳපොළ පසුගිය දා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සහ ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි කාලයේ ක්‍රියාත්මක කළ ලංකාවේ පොළවල් සංවර්ධනය කිරීමේ සැලසුම යටතේ ඉදිකර විවෘත කෙරුණු මෙම වෙළෙඳපොළෙහි වැඩ කටයුතු 2015 ට පෙර නිමවා අවසන් කර තිබිණ.
2015 වසරෙන් පසු ඇති වූ දේශපාලන වෙනස්කම් හේතුවෙන් පසුගිය ආණ්ඩුව පැවති කාලය තුළ මෙම පොදු වෙළෙඳපොළ ජනතා අයිතියට පැවරීම ප්‍රමාද වෙමින් පැවතිණ.
එම ප්‍රමාදයත් සමඟ ම මෙම පොදු වෙළෙඳපොළ භාවිතයට නොගැනුණ අතර, එම කාලය තුළ පොළ ඉදිරිපිට අවට පාරවල් දෙපස පොළෙහි වෙළදාම් කටයුතු සිදුකර තිබේ.
මෙම හොරණ නව පොදු වෙළෙඳපොළ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 239.1 ක් දෙකක් වැය කර තිබේ.
මහා භාණ්ඩාගාරයේ වියදමින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද මෙම හොරණ පොදු වෙළඳපොළ හොරණ නගර සභාවට භාරදීම ද මෙම අවස්ථාවේ සිදුවිය.
බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල මෙම හොරණ පොදු වෙළඳපොළ පැවැත්වෙන අතර දිනකට 5000 ක් පමණ ජනතාව මෙම පොළට පැමිණෙන බව හොරණ නගර සභාව ප්‍රකාශ කරයි.
අදියර I අදියර II යටතේ ඉදිකළ මෙම නව වෙළෙඳපොළ වෙළඳසැල් 492 කින් සමන්විත වේ.
ඒ අනුව ස්ථිර වෙළඳසැල් 56 ක් ද ඉදිකර ඇති අතර පොළ කඩ 432 කින් සහ මාළු වෙළඳසැල් 04 කින් ද මෙය සමන්විත වේ.
සනීපාරක්ෂක පහසුකම් ද මෙම පොළ පරිශ්‍රයේ ඉදිකර ඇති අතර රථගාලකින් ද මෙය සමන්විත වේ.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යම් දෙයක් දකිනුයේ ඉතා සැලසුම් සහගතව යන්නයි.
“සෞභාග්‍යයේ දැක්ම එහි මූලික හරයයි. ඒ යටතේ සමාජය කොටස් හතරකින් වර්ගීකරණයකට ලක් කරනු ලැබුවා. එක ඵලදායී පුරවැසියකු ලෙසින්, දෙක සතුටින් සිටින පවුලක් ලෙසින්, තුන ගුණවත් සමාජයක් ලෙසින් සහ හතර සෞභාග්‍යමත් දේශයක් ලෙසින්. අද ඔබ මේ දකින්නේ, අත්විඳින්නේ සෞභාග්‍යයේ දැක්මේ පදනමට අයත් එම ප්‍රධාන අරමුණු හතරේ ප්‍රතිඵල සමූහයයි. මේ සියල්ල ගොනු වූයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරලීමට හැකිවන ආකාරයටයි. ඒ අරමුණු ඉටු කර ගැනීමට ජනතාවගේ සංවර්ධන ව්‍යාපෘතිවලට යටිතල පහසුකම් සැපයීම තමයි, මගේ අමාත්‍යාංශයට පැවරී ඇති වගකීම. එම වගකීම් කටයුතුවලදී මේ රටේ මහ නගර 1000 කට සහ අධික සහ සුළු නගර ඊටත් වඩා සංවර්ධනය කිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා. ජනතාවගේ පොදු පහසුකම් සැලසීම වගේ ම රටත්, ජනතාවත් වෙනුවෙන් මෙතෙක් කළ දේවල්, දැනට කරමින් සිටින දේවල්, ඉදිරියට කිරීමට තිබෙන දේවල් පිළිබද සොයා නොබලා අසත්‍ය තොරතුරු පැවසීම අතිෂය වැරදි සහගතයි. කුමන තත්වයක් යටතේ වුවත් බොරුව සමාජගත කිරීම තුළින් සිදුවන පාඩුවට වන්දි ගෙවනුයේ ජනතාවමයි. මේ අයට අවශ්‍ය ඒකද? විපක්ෂය චෝදනා කළා ආර්කේඩ් ගොඩනැගිල්ල පෞද්ගලීකරණය කළා කියන කාරණය, විෂ පොල්තෙල් පිළිබඳ චෝදනාව, සීනි බදු වංචා කළ චෝදනාව, ලෝකයේ තියෙන එකම ඇකේෂියා ගහ කපනවාය කියන චෝදනාව, පරිසරය විනාශ කළා කියන චෝදනාව අද වන විට අසත්‍ය බව ඔප්පු වී අවසන්. පසුගිය රජයේ පාස්කු ප්‍රහාරය බරපතළ විනාශයක්. බැඳුම්කර ගනුදෙනුවෙන් කළ වංචාව ලංකාවේ ආර්ථිකයට ගෙන දුන්නේ දරුණු ප්‍රහාරයක්. මෙවැනි සිද්ධීන්වලට වන්දි ගෙවනුයේ මේ රටේ ජනතාව නොවේද? යමක් යම් කිසිවෙකු පැවසුවත්, එය ඇසුණත් ඒ පිළිබඳ තීන්දු තීරණ එකවර නොගැනීමයි කළ යුත්තේ. දින කිහිපයක් ගත වන්නට ඉඩ හැර නිදහසේ කලපනා කර බැලූ විට එහි පැහැදිලි සත්‍යය වටහා ගත හැකියි. තීන්දු ගත යුත්තේ ඒ අනුවයි. මේ රජය ජනතාවට කියන්නේ යම් කිසිවක් ඇසූ පමණින් විශ්වාස නොකරන්න කියලයි. විචාර බුද්ධියෙන් සිටිමින් එය කළ යුතුයි කියලයි. නිදහසේ සිටීමෙන් සත්‍යය වටහා ගත හැකියි. තීරණවලට එළඹීම සඳහා කාලය ගත යුතුයි කියලයි. මේ සියල්ල විශ්වාස කර ඉදිරියටත් විශ්වාසය රඳවා ගන්න. තවම රජය අවුරුදු පහ පටන් ගත්තා පමණයි. තව ඉතිරි කාලය තුනෙන් දෙකකටත් වැඩියි. මේ රජයට ඔබේ සහයෝගය අවශ්‍ය වනුයේ මෙම කාරණය සඳහායි. ඒ පිළිබඳව ධනාත්මකව සිතා ධනාත්මකව වැඩ කරන ජනතාවක් මෙරට බිහි කිරීම තමයි අපගේ අරමුණ.”
යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය.
නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්යක්ෂ එන්.ඒ.එස්.එන්. නිශ්ශංක මහතා ප්‍රකාශ කළේ, නගර ඇරඹීමටත්, පවත්වාගෙන යාමටත් පොළ මූලික වන බවයි.
“පොළ කියන්නේ නගරයක හදවතයි. පොළක් නැතිනම්, එතන නගරයක් නැහැ. පොළ යනු සංස්කෘතියේ කොටසක්. පොළ නැතුව ජනතාවට ජීවත්විය නොහැකියි. ගම්මානවලත්, නගරවලත් ආර්ථිකය ක්‍රියාත්මක කරනුයේ පොළයි. ඒ වටිනාකම නාගරික සංවර්ධන අධිකාරිය හදුනාගෙනයි හිටියේ. ඒ පොළ හරහා සංවර්ධන ආර්ථිකය ගොඩනැගිය හැකියි. පොළ ඇතුළත තමයි ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික කියන ක්ෂේත්‍ර ජීවත් වනුයේ. අද ජනතා අයිතියට පැවරුවේ ජනතාවගේ එම උරුමයමයි.”
යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්යක්ෂ එන්.ඒ.එස්.එන්. නිශ්ශංක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
හොරණ නගර සභාවේ නගරාධිපති විතාරණගේ සිරිසෝම මහතා ප්‍රකාශ කළේ, වර්ග කිලෝමිටර් 4.53 ක වපසරියකින්, පවුල් 2744 කින්, 11,814 ක ජනගහනයකින් යුත් හොරණ නගරයට 100,000 කට ආසන්න ජනතාවක් දිනපතා අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට පැමිණෙන බවයි.
“මෙය කුඩා නගරයක්. කුඩා වුවත් සියලු පහසුකම්වලින් සපිරියි. එවන් නගරයක් මැද වසර ගණනක් තිබූ මඩ ගොහොරුවක් අද මෙවැනි තත්වයකට ගෙන ඒමට මුල්ගල් තැබුවේ හිටපු අගමැතිවරයෙකු වූ රත්නසිරි වික්රමනායකයන්. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන්. එතුමාගේ පුත් රාජ්‍ය අමාත්‍ය විධුර වික්රමනායකය මහතා ඒ බර කරට ගනු ලැබුවේ ඉන් පසුවයි. නම් ගම් ප්‍රචාරයකින් තොරව මුදල් සපයාදීමේ සිට මේ දක්වා කළ කැපකිරීම් සහ සහයෝගයන් නොවන්නට මෙය තවමත් දකින සිහිනයක් වීමටයි ඉඩ තිබුණේ. අපිට පැහැදිලියි තාත්තා නවතා ගිය තැනින් එතුමා මේ ගමන අවසානය දක්වා ජනතා යහපත වෙනුවෙන් ගෙන යන බව. මේ පොළ වගේ ම අපේ ඔසුසලත් අපට සංවර්ධනය කර දෙන්න. බස් නැවතුම් පොළත් සංවර්ධනය කර දෙන්න. අනිත් සංවර්ධනයන් වගේ ම හොරණට අවශ්‍යයි ඇවිදින මංතීරුවක්. එයත් අපට ලබා දෙන්න. සොරණාතොට තියෙන අක්කර 28 ක ඉඩමත් සංවර්ධනය කරමු. මේ සංවර්ධනයේ සම්පූර්ණ ස්තූතිය නාගරික සංවර්ධන අධිකාරියටයි.”
යනුවෙන් ද නගරාධිපතිවරයා පවසා සිටියේය.
හොරණ නගර සභාවට අයත්, නගර මධ්‍යයේ ම පිහිටි, හෙක්ටයාර 1.2 ක විශාලත්වයකින් යුතු “කජුවත්තේ වැව” නම් ඉඩමේ හොරණ පොදු වෙළඳපොළ ඉදිකර ඇත.
නගරයේ සිට ඇවිදින දුරකින් පිහිටි හොරණ පොදු වෙළඳපොළ, පිහිටා තිබෙනුයේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධිත නොවූ පැරණි පොළ භූමිය අසලයි.
ඉදිරි කාලයේ මෙම පැරණි පොළ භූමියේ නව වෙළඳ කඩ කාමර සහ රථ ගාලක් ඉදිකර දැනට වෙළදාමේ නියුතු වෙළදුන්ට ම ලබාදීමේ යෝජනාවක් පිළිබඳ අදහසක් ද මේ වනවිට සැලකිල්ලට ලක්වෙමින් පවතී.
ඉදිකළ නව පොදු වෙළඳපොළේ රථවාහන 100 ක් පමණ නවතා තැබීමේ ඉඩ පහසුකම් ඇත.
මෙම පොළ සති පොළක් ලෙස ඉදිරියේ දී පොළ පැවැත්වීමට නියමිතයි.
සංස්කෘතික කලා පුරයක් වූ හොරණ පුරවරයේ පැවැති මෙම උත්සවයේදි සංස්කෘතික කලා අංග කිහිපයක් ද ඉදිරිපත් කිරීම විශේෂයෙන් කැපී පෙනිණ.
හොරණ පොදු වෙළඳපොළ මහජන අයිතියට පවරා දීමේ අවස්ථාව සඳහා වෑවල ඉසිපතනාරාමාධිපති පූජ්‍ය තම්ජන්තැන්නේ ධම්මරංසි හිමි, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ජාතික උරුමය, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්යක්ෂ එන්.ඒ.එස්.එන්. නිශ්ශංක, හොරණ නගර සභාවේ නගරාධිපති විතාරණගේ සිරිසෝම, හොරණ නගර සභාවේ උප නගරාධිපති කාන්ති මාන්නගේ, හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක රණතුංග, හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති දිලිප් වීරක්කොඩි, කලුතර පළාත් පාලන කොමසාරිස් සදරේඛා වෙල්ගම, හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.ඩී. සංජීවනී යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් සහභාගි වූහ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් මෙම ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ.






















