රාජගිරියේ ඊයේ සිදුකළ මත්කුඩු වැටලීමක් අතරතුර පොලින් නිලධාරියෙකුට තුවාල සිදුකරමින් පළාගිය මෝටර් රථය මිරිහානේ ලිපිනයකට ලියාපදිංචි කළ රථයක් බවට පොලීසිය හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත් අදාළ නිවසේ පදිංචිව සිටි බව පැවසෙන යුවළක් මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
ඒ අතර එම සිද්ධියේ නවතම CCTV දර්ශන කිහිපයක් “අද දෙරණ” වෙත ලැබුණි.
නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී සිදුකළ මත්කුඩු වැටලීමක් අතරතුර මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම ඊයේ (20) අද දෙරණ ප්‍රධාන ප්රවෘත්ති විකාශයෙන් අප රටට අනාවරණ කළේය.
තමන්ට ලද තොරතුරකට අනුව ඔබේසේකරපුර මංසන්ධියට ගිය නිලධාරීන් කණ්ඩායමට පළමුව නිරීක්ෂණය වූයේ නිල් පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙක්, අසල නවතා තිබු මෝටර් රථයකට යම්කිසි පාර්සලයක් ලබාදෙන ආකාරයයි.
එහිදී එම පාර්සලය තුළ මත්කුඩු තිබේදැයි මතුවූ සැකය මත වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ත්‍රිරෝද රථය අසලට ගොස් එහි සිටි පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරනු ලැබීය.
අනතුරුව ත්‍රිරෝද රථයේ යතුර සිය භාරයට ගත් පොලිස් නිලධාරීන් මෝටර් රථය අසලට ගමන් කිරීමත් සමග ක්‍රියාත්මක වූ රියදුරු මෝටර් රථය ඉදිරියට ධාවනය කරවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
එහිදී එක් නිලධාරියෙකු මෝටර් රථය නතර කිරීමට උත්සාහ කරන්නේ තම ජීවිතය පවා පරදුවට තබමිනි.
මීටර 500ක් පමණ දුර මෝටර් රථය වේගයෙන් ධාවනය කළ සැකකරු සැණෙකින් තිරිංග ක්‍රියාත්මක කිරීමත් සමග පොලිස් නිලධාරියා බිම ඇදවැටී තිබුණි.
එය අසල තිබු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
ඒ අතර වාරයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයෙන් පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයෙන් පළායන අයුරුද CCTV කැමරාවක සටහන්ව තිබුණි.
පොලිස් නිලධාරියා ඇද වැටීමෙන් පසු සැකකටයුතු මොටර් රථය තවත් මෝටර් රථයක් පසු කරමින් පළාගියේය.
පළාගිය මෝටර් රථයෙන් ඇද වැටුණු නිලධාරියාගේ හිසට හා පාදයට තුවාල සිදුවී ඇති අතර හිසට මැහුම් 4ක් යොදා ඇති බව වාර්තා විය.
පළාගිය මෝටර් රථය CBK – 3981 අංක තහඩු සහිත ටොයෝටා විට්ස් වර්ගයේ අළු පැහැති රථයක් බව CCTV දර්ශන පරික්ෂා කිරීමේදි අනාවරණය වුණි.
පසුව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත නිලධාරී කණ්ඩායම් දෙකක් ඊයේ වැඩිදුර විමර්ශන ආරම්භ කළ බව වාර්තා විය.
ඒ අනුව අදාළ මෝටර් රථය ලියාපදිංචි ලිපිනය මිරිහාන ප්‍රදේශයේ ඉදිකෙරෙමින් ඇති තෙමහල් නිවසක් බව අද (21) සොයාගනු ලැබීය.
පොලීසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි අදාළ නිවසේ හිමිකරුවාගේ ඥාතින් පවසා ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි තම සහෝදරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ රාත්‍රී කාලයේ නිවසින් පිටත් වූ බවත් මේ වන විට ඔවුන්ගේ ජංගම දුරකථන පවා ක්‍රියාවිරහිත කර ඇති බවත් ය.
ලැබුණු එම හෝඩුවාව ඔස්සේ පොලීසිය සිය විමර්ශන සිදුකරමින් සිටී.






















