ගෑස් සමාගම් සමග ක්‍රියාත්මක වී තිබු මිල සුත්‍රය ක්‍රියාත්මක කළේ නම් එකවර විශාල ගණනකින් මිල ඉහළ දැමීමට සිදුනොවන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති, ඩබ්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.
අද (12) උදෑසන දෙරණ “BIG FOCUS” සමග එක්වෙමින් ලාෆ් ගෑස් මිල ගණන් ඉහළ දැමීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
දියුණු වෙළෙඳපොළක් ඇති ආර්ථිකයක් නම් සැපයුම හා ඉල්ලුම මෙන්ම පාරිභෝගිකයා හා වෙළෙන්ඳා අතර ඇති ගනුදෙනුව මත වෙළෙඳපොළ ක්‍රියාත්මක වීමට ඉඩදිය යුතු බව ද ඒ මහතා පවසයි.
තම සමාගමේ පිරිවැය ආවරණය කර ගැනීමට පමණක් හැකිවන සේ ගෑස් මිල ගණන් නියම කළ බවත් පැවසු ඒ මහතා, ඉදිරි මාසයේ දී ද ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඩොලර් 50 – 60ක ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද කියා සිටියේය.
පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ රජයට වඩා ඇත්තේ තමන්ට බව ද පැවසු ඒ මහතා, වරින් වර ගෑස් මිල ඉහළ පහළ දැමීමට අවස්ථාව හිමි වුයේ නම් ජනතාවට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුනොවන බව ද පැවසීය.
“අපිට ඇත්තටම රජයට වඩා පාරිභෝගිකයෝ අපිට වැදගත්. ඒ වගේ අපි පාරිභෝගිකයා ගැන හිතනවා. ඇත්තට ම ගෑස් මිල වැඩි ද? නැහැ. 2014 දී ලෝක වෙළෙඳපොළේ මිල ඇ.ඩො 780ක් තියෙන වෙලාවේ ලංකාවේ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු 2,340යි. ඊට පස්සේ අවස්ථා 8ක දී ක්‍රමානූකූලව බලහත්කාරයෙන් මිල අඩුකරා. ඒ ඡන්දේ ඉලක්ක කරගෙන. ජනාධිපතිවරණයට කලින් රු 250ක් අඩුකරා. කිට්ටු වෙලා 200ක් අඩුකරා. ඊට පස්සේ තව රු 250ක් අඩු කරා. ඒ කියන්නේ වෙළෙඳපොළේ පිරිවැය පිළිබඳ තියෙන සංඝටක සම්පුර්ණයෙන් අමතක කරලා වෙනත් ඉලක්ක නිසා මේ අඩු කිරීම කළා. ඇත්තටම මීට කලින් මේ සමාගම් එකක් එකතු වුණ මිල සුත්‍රයක් තිබුණා. ඒ මිල සුත්‍රය ක්‍රියාත්මක වුණා නම් මේ එක පාරට ෂොක් එකක් දෙන්න වෙන්නේ නෑ. රු 200 – රු 300 වැඩි කරලා අඩු කරන්නත් පුළුවන්කම තිබුණා. ඇත්තටම විය යුත්තේ දියුණු වෙළෙඳපොළක් ඇති ආර්ථිකයක සැපයුම හා ඉල්ලුම මත පාරිභෝගිකයා හා වෙළෙන්ඳා අතර වෙළෙඳපොළ මිල තීරණය කිරීමට ඉඩ දිය යුතුයි.”
ප්‍රශ්නය – ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි ද?
“ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන්න බෑ. මොකද ලංකාවේ මිලියන 22ක් වු ජනග්‍රහණයෙන් ගෘහස්තයන් තියෙන්නේ මිලියන 4යි. ඒකෙන් තවමත් ගෑස් යොදා ගන්නේ සියයට 50කට අඩු ප්‍රමාණයක්. හැම ගෙදරකම සිලින්ඩරයක් තිබුණ පමණින් ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන්නේ නෑ. ඒකෙනුත් වැඩි ප්‍රමාණයක් සියයට 72කට වඩා තියෙන්නේ බස්නාහිර පළාතේ. ඇත්තටම මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයි. මේ ලෙඩ් දා ගත්තේ 2003දී.”
මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති, තෙෂාර ජයසිංහ මහතා සිය සමාගමේ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සඳහන් කර සිටියේ, පසුගිය සැප්තැම්බර් මාසය වන විට තම සමාගමට සිදුව ඇති පාඩු රුපියල් මිලියන 11,000ක් වන බවය.
මිල ඉහළ දැමුව ද ඉදිරි මාස දෙක තුන තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඩොලර් 50 – 100ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත්, මිල ගණන් ඒ අයුරින් ම පවත්වාගෙන යෑමට උත්සහ දරණ බවත් ඒ මහතා පැවසීය.






















