විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලය අවම කිරීම සඳහා ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට යෝජනා පහක් ඉදිරිපත් කර තිබේ.
අද දිනයේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පැය 7ක කාලයක් විදුලි කප්පාදුව සිදුකළ යුතු බවට මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබුණි.
කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසම පැය 5ක විදුලි කප්පාදුවක් සඳහා පමණක් අවසර ලබාදෙමින් විදුලි කප්පාදුව අවම කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට යෝජනා 5ක් ද ඉදිරිපත් කර තිබේ.
එම නිර්දේශ වහාම ක්රියාත්මක කරන්නේ නම් දිනකට විදුලි කප්පාදුව පැය 5ක් දක්වා අවම කළ හැකි බව ද එම කොමිසම පවසයි.
ඒ අනුව අද දිනයේ උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ පැය 03යි විනාඩි 30ක කාලයක් සහ සවස 6.00 සිට රාත්රී 9.00 දක්වා පැයයි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.
මේ අතර අද දිනයේදී තවත් ඩීසල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඉන්දියානු ණය ආධාර යටතේ මෙම නෞකාව දිවයිනට පැමිණෙන අතර එහි ඩීසල් මෙට්රික් ටොන් 40,000ක් ගබඩා කර ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් ඉන්දියානු ණය ආධාර යටතේ තවත් ඩීසල් නෞකාවක් හෙට දිනයේ ද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.






















