ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් සලකාබලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා අදාළ යෝජනා ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් එලෙස සලකාබලන බවය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව සමග අද (08) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වර්තමාන තත්ත්වය පාදක කරගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රධාන යෝජනා 13ක් එහි විධායක සභාවට ඉදිරිපත් කර ඒකමතිකව සම්මත කරගෙන තිබුණි.
එම යෝජනා ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය සාකච්ඡාවට ලක් කළ ජනාධිපතිවරයා එහිදී නීතියේ ආධිපත්‍ය සුරැකීමේ වැදගත්කම ද අවධානයට ලක්කර තිබේ.
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව අතර එම යෝජනා සම්බන්ධයෙන් දීර්ඝව පැවති සාකච්ඡාවේදී සියලු යෝජනා කෙරෙහි අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා මැදිහත්කරුවකු ලෙස ක්‍රියාකරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 11 නියෝජිතයින් සමග ද අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණි.
වර්තමාන අර්බුදය විසදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා පදනම් කරගත් ජාතික වැඩපිළිවෙළකට සහය ලබාදීමට සූදානම් බව සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය ඊයේ ප්‍රකාශ කළ අතර ඒ අනුව එම පක්ෂයේ නියෝජිතයින්ද අද පෙරවරුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලධාරීන් හමුවී තිබුණි.






















