පවතින ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විටත් ඩීසල් නොමැති කම හේතුවෙන් බලාගාර කිහිපයක විදුලි ජනන කටයුතු සිදුනොකෙරෙන බව වාර්තා වේ.
කෙසේවෙතත් බලාගාර සඳහා දැවී තෙල් ප්රමාණවත් වන්නේ ද තවත් දින දෙකකට බව සඳහන්ය.
මෙම තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් විදුලි කප්පාදු කාලසීමාව ඉහළ නැංවීමට ද සිදුවේ.
මේ අතර ඩීසල් මෙට්රික් ටොන් 40,000ක් රැගත් තවත් නෞකාවක් සහ පෙට්රල් මෙට්රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් මෙම සතිය තුළ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඩීසල් නෞකා සඳහා මුදල් ගෙවීම් සිදුකර ඇති අතර පෙට්රල් නෞකාව සඳහා සියයට 30ක ගෙවීමක් සිදුකර ඇති බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව සඳහන් කළේය.
ඊට අමතරව පෙට්රල් මෙට්රික් ටොන් 35,000ක් රැගත් තවත් ඉන්ධන නෞකාවක් ද මෙම මස අග දි දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.
එමෙන්ම දැවි තෙල් මෙට්රික් ටොන් 31,500ක් රැගත් නෞකාවක් මෙම මස 21 වනදා මෙරටට පැමිණෙන අතර බොරතෙල් මෙට්රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් ද මෙම මස අග දී කොළඹ වරායට ළඟාවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.






















