දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය ගාස්තු සංශෝධනය කර ඇති ආකාරය ගැන විරෝධය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (23) පස්වරු 06 සිට පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.
ඒ අනුව, සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් මේ වනවිට ඉවත්ව සිටී.
අද පෙරුවරුවේ දුම්රිය බලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.
මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එරෙහිව බලධාරීන් යම් පියවරක් ගන්නේනම් ඒ මොහොතේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය එන්ජින් රියදුරු, නියාමක ඇතුළු අනෙකුත් වෘත්තිය සමිති තීරණය කර තිබේ.
දුම්රිය නගාසිටුවීම සඳහා වූ වෘත්තීය සමිතියේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය පළකරන බවය.






















