දිවයිනට රැගෙන ආ තවත් සපුර් ඩීසල් මෙට්‍රික්ටොන් 30,000ක් අද (24) දිනයේ ගොඩබෑමට නියමිතව තිබේ.
එමෙන්ම බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් ද ඊයේ (23) දිනයේ මෙරටට පැමිණි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
මීට අමතරව ඔටෝ ඩීසල් තොගයක් ලබන 25 සහ 26 යන දිනයන්හි මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්ය.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ද ලබන 27 සහ 29 වන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ තවදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර භූමිතෙල් සහ ජෙට් යානා ඉන්ධන බෙදාහැරීම පසුගිය 22 වනදා සිට ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.






















