පාරිභෝගිකයින් විසින් මිලදී ගන්නා පාන් පිළිබඳව අද (21) විශේෂ අනාවරණයක් සිදු කෙරුණි.
එහිදී අනාවරණය වුණේ නිසි බර සහ ප්‍රමිතියෙන් යුත් පාන් ගෙඩියක් පාරිභෝගිකයින්ට නොලැබෙන බවය.
“අද දෙරණ” අප දිවයින පුරා කළ සොයා බැලීමකදී වැඩිදුරටත් හෙළිවූයේ ඉහළ මිලකට පාන් අලෙවි කළ ද නිසි බරින් සහ ප්‍රමිතියෙන් යුත් පාන් ගෙඩියක් ජනතාවට අතට පත් නොවන බවය.
1864 අංක 13 දරණ පාන් ආඥා පනතට අනුව පාන් ගෙඩියක් අලෙවි කිරීම සඳහා නිශ්චිත බරක් තිබිය යුතුය.
ඒ අනුව එහි තිබිය යුතු බර ග්‍රෑම් 225, 450, 900 සහ 1,800 ලෙස දැක්වෙයි.
මෙරට වැඩි වශයෙන් ආහාරයට ගැනෙන පාන් ගෙඩියක හෙවත් පාන් රාත්තලක බර ග්‍රෑම් 450ක් විය යුතුය.
නමුත් අප කළ විමසීමේදී අනාවරණ වූයේ ඉහළ මිලක් ගෙවනු ලැබුව ද, අවම වශයෙන් ග්‍රෑම් 450 ක බරින් යුතු පාන් ගෙඩියක් පාරිභෝගිකයාට නොලැබෙන බවය.
ඒ අනුව මේ පිළිබඳ ප්‍රදේශ රැසක වෙළෙඳසැල් ඇසුරෙන් අප සොයාබැලීමක් සිදු කළේය.
එහිදී අපට දැකගත හැකි වුයේ නිසි ප්‍රමිතියෙන් තොරවූ පාන් වෙළෙඳපොලේ විකිණීමට ඇති බවය.
ඒවැනි පාන්වල බර සටහන් වූයේ ග්‍රෑම් 300ක්, 305ක් 314ක්, 330ක් සහ 370ක් වශයෙනි.
මේ පිළිබඳව අද පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එම නිලධාරීන් පැවසීය.






















