හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට තොරතුරු හෙළිකිරීමත් සමග තමාගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව වෛද්‍ය චමල් සංජීව මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට තමන් විසින් සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව සිය වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගෙන තිබෙන තීරණය තුළින් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසය.
තවද, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අය කරදෙන ලෙසත් වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු 23 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශයකට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් ඉකුත් ඔක්තෝබර් මස 25 වනදා සිය වැඩ තහනම් කිරීමට පියවර ගත් බවය.
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ තමන් වෛද්‍ය සායනයක් පැවැත්වීමට කටයුතු කළ අතර ඒ තුළින් ප්‍රදේශයේ පවතින ළමා මන්දපෝෂණය පිළිබඳව සමීක්ෂණයක් සිදු කළ බවද පෙත්සම්කරු පවසයි.
එම සායනයට සහභාගීවූ සෑම දරුවන් 20 දෙනෙකුගෙන් 6 දෙනෙකු පමණ දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වුයේ යැයි පවසන පෙත්සම්කරු, සහභාගීවූ දරුවන්ගෙන් සියයට 50ත් 80ත් අතර සංඛ්‍යාවක් නිසි බරට වඩා අඩු බරකින් යුක්ත වූ බවත් කියා සිටියේය.
මේ පිළිබඳව තමන් සිදු කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වූ බව පෙත්සම්කරු පවසා තිබේ.
ඉන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කළ දැනුම්දීමකට අනුව ඉකුත් සැප්තැම්බර් මස 26 වනදා තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කමිටුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදුන් බවත් ඔහු පවසයි.
පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ආයතන සංග්‍රහයේ 31:1:15 වගන්තිය උල්ලංඝනය කලේ යැයි චෝදනා කරමින් සිය වැඩ තහනම් කිරීමට වගඋත්තරකරුවන් පියවර ගත් බවත් පෙත්සම්කරු කියා සිටී.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සිය වැඩ තහනම් කිරීමට වගඋත්තරකරුවන් ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම තමන්ව නැවත සේවයේ පිහිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය විදේශීය පුහුණුව අඛණ්ඩව ලබාගැනීමට අවස්ථාව සලසාදෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.






















