මග නැගුම ව්‍යාපෘතියේ සභාපතිවරයාට හා විධායක අධ්යක්ෂවරයාට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පෑලියගොඩ පොලීසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 සහ 49 හැවිරිදි වියේ පසුවන බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
ඉන් එක් සැකකරුවෙකු මග නැගුම ව්‍යාපෘතියේ රියදුරු සංගමයේ සභාපති වන අතර අනෙක් සැකකරු එම සංගමයේම කාරක සභිකයෙකි.
පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පිහිටි මග නැගුම ව්‍යාපෘති කාර්යාලයේ 2023 වර්ෂයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවේ පැවති තේ පැන් සංග්‍රහය අතරතුරදී මග නැගුම සභාපතිවරයාට සහ අධ්යක්ෂවරයාට පහරදී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සිදුව තිබුණේ මග නැගුම සමාගමේ රුපියල් බිලියන 2ක මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එහි මූල්‍ය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙක් පරීක්ෂණ අවසන් වනතෙක් වැඩ තහනමට ලක්කර තිබුණු පසුබිමකය.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ විමර්ශන යට ගැසීමේ අරමුණින් සේවකයින් පිරිසක් අද සභාපතිවරයාට සහ විධායක අධ්යක්ෂවරයාට මෙලෙස බලපෑම් කර ඇති බවය.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ පෑලියගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලයේ රාජකාරී 2023 වර්ෂයට අදාළව ආරම්භ කිරීමට සමගාමීව අද (02) පෙරවරුවේ උත්සවයක් සංවිධානය කර තිබුණි.
එහිදී සිදුකළ ආගමික වතාවත්වලින් පසු ඉහළ නිලධාරීන් පැමිණ සිටි පිරිස ඇමතීමට සූදානම්වන අවස්ථාවේ මග නැගුම සමාගමේ සභාපති ඒ.ඒ. යෝගේන්ද්‍ර පෙරේරා සහ විධායක අධ්යක්ෂ මහේෂ් වික්‍රම යන මහත්වරුන්ට සේවක පිරිසක් කිරිබත් හා කැවිලි ප්‍රහාරයක් එල්ල කළේය.
අනතුරුව වෘත්තිය සමිති සාමාජිකයින් මග නැගුම සමාගමේ සභාපතිවරයාව සහ විධායක අධ්යක්ෂවරයාව නිවාස අඩස්සියේ තබාගෙන තිබුණි.
ඒ අත්තනෝමතික ලෙස සේවකයින් ඉවත් කරන බවට හා නවාතැන් ඇතුළු වරප්‍රසාද අහිමි කරන බවට චෝදනා කරමිනි.
මෙම අවස්ථාවේ පෑලියගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය මග නැගුම ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේය.
පැය 3කට පමණ පසු මග නැගුම සමාගමේ සභාපති ඒ.ඒ. යෝගේන්ද්‍ර පෙරේරා සහ විධායක අධ්යක්ෂ මහේෂ් වික්‍රම යන මහත්වරුන් එම ස්ථානයෙන් පිටත් කර යැවීමට වෘත්තිය සමිති සාමාජිකයින් එකඟතාව පළ කළේය.
දහවල් 12ට පමණ මග නැගුම සභාපතිවරයා සහ විධායක අධ්යක්ෂවරයා කාර්යාල පරිශ්‍රයෙන් පිටව යන අවස්ථාවේ සේවකයින්ගේ හූ හඬ මැද පිටව යෑම සිදුවිය.






















