විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අය කිරීම නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා විනිසුරු සංගම් දෙකක් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස ඉදිරිපත්වී ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 16 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (09) නිවේදනය කළේය.
එමෙන්ම විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන තහනම් නියෝගය ද ලබන 16 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසත් අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ලබාදුනි.
අදාළ පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමයේ සහ ශ්‍රී ලංකා මහාධිකරණය විනිසුරුවරුන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණි.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා විසින් විරෝධය පළ කළේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම් සලකාබැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස පෙත්සම්කාර විනිසුරු සංගම් විසින් කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබුණි.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුව සලකාබැලීම සඳහා කඩිනම් දිනයක් නියම කරන මෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීමට විනිසුරු සංගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විරෝධය පළකර සිටියේය.
මෙහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ, ලබන 16 වනදා තම අධිකරණයේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පෙත්සම සලකාබැලීම සඳහා දිනයක් ලබා දෙන බවය.
පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ විනිසුරුවරු යනු විධායකය නියෝජනය නොකරන ස්වාධීන පිරිසක් බැවින් ඔවුන්ගෙන් අදාළ බද්ද අය කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බලයක් නොමැති බවය.
එබැවින් විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අදාළ බද්ද අය කිරීම නීතිවිරෝධී යැයි තීන්දු කොට එම තීරණය බලරහිත කිරිමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර විනිසුරු සංගම් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.






















