එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් සිදුවූ හානිය තවමත් හරිහැටි ගණනය කර නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය ගණනය කර ඇත්තේ මීගමුවේ සිට පානදුර දක්වා පමණක් බවත් එය වැරදි බවත් පුත්තලමත් පානදුරෙන් පහළ ප්‍රදේශයටත් මෙමඟින් විශාල හානියක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් මීට පෙර ද දැනුවත් කළත් තවමත් ධීවර අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ගණනය කිරිමක් සිදු නොකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) පාර්ලිමේන්තුවේ දී ධීවර ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ රජයෙන් ප්‍රශ්න කරමිනි.
ආර්ථික අර්බුධයත් සමඟ ධීවර කර්මාන්තය බිඳ වැටුන බවත් ඒ හේතුව නිසා ඔවුන්ගෙන් යැපෙන්නන්ද අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් පසුගිය වසරේ මත්ස්‍ය නිෂ්පාදනය සියයට 8 දක්වා පහත වැටී ඇති නිසා සාගරයෙන් වටවූ රටක් වුවත් මත්ස්‍ය මිල ගණන් අඩු නොවූ බවත් මේ හේතුවෙන් දරුවන්ට පෝෂණය සදහා වන මාළු ලබා දීමට පවා දෙමාපියන් අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ධිවර අමාත්‍යාංශය සහ ලංකා ධීවර අවස්ථාව මෙවන් අවස්ථාවක සිදු කළ යුත්තේ නිසි කළමනාකරණ ක්‍රමවේද මඟින් වෙළෙඳපොළ ඒකාධිකාරිය මැඩපවත්වා මීට පිළියම් සෙවීම වුවත් ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පීඩාවට පත් ධීවර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජයේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව යි.
මීට අමතරව ධීවරයන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පාර්ලිමේන්තුව දැනුවත් කළේය.






















