*ඊශ්‍රායල් රැකියා ගන්න බාහිර පාර්ශවයන්ට මුදල් දෙන්න එපා – මුදල් දුන්නොත් රස්සාවත් නැතිවෙනවා*ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගැනීම සදහා කිසිදු බාහිර පාර්ශවයකට මුදල් ලබාදිය නොදිය යුතු බවත්, එසේ මුදල් ලබාදී ඇති බවට තහවුරු වුවහොත් මුදල් ලබාදුන් අයගේ රැකියා අවස්ථාවන් අහිමිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අවධාරණය කර සිටී.කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා හරහා හෝ පුද්ගලික කාර්ය මණ්ඩලය හරහා හෝ එවැනි රැකියා අවස්ථාවන් ලබාදෙන බව පවසමින් මුදල් එක් කිරීමට ඇතැම් ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර එවැනි ජාවාරම්කරුවන්ට අහු නොවන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටී. මෙසේ විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් බාහිර පාර්ශවයන් විසින් මුදල් ලබාගැනීම නීති විරෝධී වන අතර එසේ මුදල් එක්කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යාංශය සදහන් කරයි. මෙලෙස ඊශ්‍රායල් රැකියා ලබාගැනීම සදහා කිසියම් බාහිර පාර්ශවයකට මුදල් ලබාදී ඇති බව තහවුරු වුවහොත් ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය සියලුම පියවර ගැනීමට එරට පීබා ආයතනය සමග සාකච්ඡා කර එකගතාවයකට පැමිණ තිබෙන බවද අමාත්‍යාංශය සදහන් කරයි. තමන්ගේ හෝ තමන්ගේ කාර්ය මණ්ඩලයේ නම භාවිතා කරමින් කිසියම් පුද්ගලයෙක් ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් කිරීමට කටයුතු කරන්නේ නම් එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැඩි උපදෙස් ලබාදී තිබේ.ඊශ්‍රායල් රැකියා සදහා අය කරනු ලබන්නේ රජයේ අනුමත ගාස්තු පමණක් වන අතර එය අය කිරීමටද අවසර ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණි. එසේ නොමැතිව කිසිදු බාහිර පුද්ගලයෙක්ට හෝ ආයතනයකට ඒ සදහා මුදල් එක් කිරීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අවධාරණය කර සිටී. මේ වන විට ඊශ්‍රායලයේ සාත්තු සේවක සහ කෘෂි අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට කටයුතු කරන අතර එය ක්‍රියාත්මක වන්නේ රටවල් දෙක අතර ඇති කරගත් අවභෝධතා ගිවිසුමක් අනුවය. ඒ අනුව මෙම රැකියා අවස්ථා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමේ කිසිදු අවස්ථාවක් මේ වන තෙක් පුද්ගලික අංශයට විවෘත කර නොමැති අතර එවැනි බදවා ගැනීම් සදහා කිසිදු බාහිර පාර්ශවයකට මැදිහත්විමේ කිසිදු නීත්‍යානුකූල අවස්ථාවක් නොමැති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටී.






















