Friday, September 11, 2026
HomeNEWSකුමන අභියෝග පැමිණිය ද ප්‍රතිපත්ති වෙනස් නොකරන බව නාමල් මහරගම දී කියයි.

කුමන අභියෝග පැමිණිය ද ප්‍රතිපත්ති වෙනස් නොකරන බව නාමල් මහරගම දී කියයි.

දේශපාලනික වශයෙන් කුමන අභියෝගයක් පැමිණිය ද වරදාන පරප්‍රසාදවලට ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දේශපාලනික වශයෙන් වැඩපිලිවෙලක් සමඟ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බව පෙන්වාදෙන ඒ මහතා රැල්ලට හසුවී තම දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නොකරන බවද පවසයි. 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මහරගම නගරයේ දී ඊයේ (11) පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අපේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ ආසනයෙන් ආසනයට. අපි සති පහක මැතිවරණයක් මෙහෙයවන්නේ. අපි අවුරුදු දෙකකට කලින් ලෑස්ති වුණේ නැහැ. ඒ සති පහ තුළ අපි හැම ආසනයකටම යන්න ඕන. දෙමාපියන්, පාක්ෂිතයන් මුණ ගැසෙන්න ඕන. ඔබ වෙනුවෙන් අපේ වැඩපිළිවෙල පිළිබඳව කතා කරන්න ඕන. අපි රට ගොඩනඟපු දේශපාලන පක්ෂයක්. අපිට ප්‍රතිපත්තියක් තිබෙනවා. අපි කාලයෙන් කාලයට අවස්ථාවාදීව වරදාන වරප්‍රසාද පාවා දෙන්නේ නැහැ. ඒ වගේම අපි වැඩපිලිවෙලක් සමඟ දේශපාලන කරනවා. අපි පැහැදිලිවම විශ්වාස කරනවා මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් තරුණයන් වෙනුවෙන් තාක්ෂණික විප්ලවයක් සිදුකළ යුතු වෙනවා. එක් අවස්ථාවක අපි පෝලිම් යුගයක් ගැන කතා කරනවා. නමුත් මිල වැඩිකරලා, ඉල්ලුම අඩුකරලා, පෝලිම් ඉවත් කළා කියා ඵලක් නැහැ. අපි ආර්ථිකය හදන්න ඕන. අනෙක් පැත්තනේ පාස්පෝට් පෝලිම ඉවත් කරනවිට දවසට දෙන ප්‍රමාණය අඩුකළා කියා පොලීසිය යොදවා පෝලිම් ඉවත් කළා කියා විසඳුම ලැබෙන්නේ නැහැ. තාක්ෂණයට මෙරට රාජ්‍ය පාලනය පරිවර්තනය කිරීම තුළින් පමණයි ගෞරවාන්විත රාජ්‍ය පාලනයක් අපේ රටේ රාජ්‍ය සේවයක් අපේ රටේ ගොඩනඟන්න පුළුවන්. අනෙක් පැත්තෙන් තරුණ පරපුර අපේක්ෂා කරන රැකියා අපි නිර්මාණය කළයුතු වෙනවා. ඊළඟ අවුරුදු 10 තුළ ලක්ෂ 20 ක රැකියා නිර්මාණය කිරීම තුළින් මේ රටේ විරැකියා ප්‍රතිශතය බිංදුවට ගේන්න පුළුවන්. ව්‍යවසායකයන්ට අපි උදව් කරන්න ඕන. වෙළඳ ව්‍යාපාරවල අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට සාධාරණ බදු ප්‍රතිපත්තිකට පරිවර්තනය කළයුතු වෙනවා. සාධාරණ ලෙස බදු ගෙවන්න අපේ රටේ ජනතාව සූදානම්. කාලයෙන් කාලයට පත්වන ආණ්ඩු තමන්ගේ ප්‍රතිපත්ති මත බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න යනවිට වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන්න අපහසු වෙනවා. රැකී රක්ෂා උත්පාදනය වීම නතර වෙනවා. දරුවාගේ පාසල් අධ්‍යාපනය තුළ අපි අපේක්ෂා කරන්නේ කුමක්ද. උසස් පෙළින් පසුව දරුවට විශ්ව විද්‍යාලය දක්වා යන්න නිදහස දියයුතු වෙනවා. අනෙක් පැත්තෙන් වෘත්තීය පුහුණුව, කාර්මික පුහුණව සහ තාක්ෂණය අනුව තමාගේ හෙට දවස පිළිබඳව දෙමාපියන්ටත් දරුවන්ටත් නිර්මාණය කරගන්න අවශ්‍ය වැඩපිලිවෙල අපි හදා දෙන්න ඕන. ඒ වගේම සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජයක් පැවතිය යුතු වෙනවා. දේශපාලන වේදිකාවේ කාලයෙන් කාලයට මැතිවරණ ළංවනවිට බොහෝ අයට පොරොන්දු දේශපාලනය මතක් වෙනවා. එක් පක්ෂයක් පඩිය 25000 කින් වැඩි කරනවා කිව්වොත් තවත් පක්ෂයක් 50000 කින් පඩි වැඩිකරනවා කියනවා. නමුත් මීට මාස හයකට පෙර කිවුවේ බදු වැඩි නොකර කිසිසේත්ම පඩි වැඩිකරන්න බැහැ කියලයි. ඡන්දය ළංවනවිට අරදේ වැඩි කරන්න පුළුවන්, මේ දේ වැඩිකරන්න පුළුවන් කියා බොහෝ අය කියනවා. මේ සම්ප්‍රදායෙන් අපි මිදෙන්න ඕන. උද්ධමනයට අනුපාතිකව වැටුප් වැඩිකරන ක්‍රමවේදය අපි හදුන්වා දෙන්න ඕන. පෞද්ගලික අංශයටත් මෙය පොදුයි. අපේ ඉලක්කය කුමක්ද. ඊළඟ ඉලක්කය කුමක්ද. ඊළඟ වසර 10 තුල අපේ රටේ ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 180 දක්වා පරිවර්තනය කිරීමයි. ඒ වෙනුවෙන් තිබෙන සැලසුම කුමක්ද. අපි පැහැදිලිවම දේශීය සහ විදේශීය ආයෝජකයා ආරක්ෂා කරනවා. දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම තුළ නව රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන් වෙනවා. ශක්තිමත් දේශීය ව්‍යාපාරා පැලැන්තියක් අපේ රටේ නිර්මාණය කලොත් පමණයි විදේශ ආයෝජකයෝ ලංකාවට එන්නේ. සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕන. ගුවන් තොටුපල හා වරායන් කේන්ද්‍ර කරගෙන අවම වශයෙන් ඊළඟ වසර පහ තුළ මගීන් මිලියන 80 කට සේවා සපයන මධ්‍යස්ථානයක් බවට අපේ රට පත්කළ යුතු වෙනවා. එවැනි පරිවර්තනයකට යන්න පුළුවන් නම් පමණයි අපිට මිලියන 5 ක 10 ක සංචාරක ව්‍යාපාරයක් කරා යන්න පුළුවන් වෙන්නේ. අපි දේශපාලනික වශයෙන් වැඩපිලිවෙලක් සමඟ ප්‍රතිපත්තියක සිටිනවා. රැල්ලට අපේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. වරදාන වරප්‍රසාදවලට අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න, මවුබිම දියුණු රටක් බවට පරිවර්තනය කරන්න එක්වන්නැයි ආරාධනා කරනවා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා, එදා ත්‍රස්තවාදීන් විසින් මහවිල්ආරු සොරොව්ව වසාදැමීමෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අපි එහි ගියා. එදා ආණ්ඩුවේ සිටිය ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට ගියා. ආණ්ඩුව සුළුතරයක් බවට පත්වුණා. ඒ අවස්ථාවේ තමයි ත්‍රස්තවාදීන් විසින් මහවිල්ආරු සොරොව්ව වසා දමලා අක්කර 30000 ට වැඩි ගොවි බිම් ප්‍රමාණයකට ජලය සැපයීම අවහිර කළා. ඒ අවස්ථාවේ තමයි අපේ මන්ත්‍රී කන්ඩායමක් කන්තලේට ගියා. මිනිස්සු දහස් ගණනක් කිසිම පහසුකමක් නොමැතිව එදා සිටියා. පසුව අපි කොළඹට පැමිණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙහි භයානක තත්ත්වය කිවුවා. යුද්ධය අවසන් නොකලොත් විශාල විනාශයක් සිදුවන බව කිවුවා. අපි ඒ වෙලාවේ කිවුවා මහින්ද රාජපක්ෂ මහතා මේ යුද්ධය අවසන් කර දෙනවා නම් අපි පූර්ණ සහාය දෙන්න ඕන කිවුවා. ඒ වගේම අයවැය සම්මත කර ගන්නත් සහාය දෙන්න ඕන කිවුවා. අපි මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු දැක්වුවා. නමුත් එතුමා ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කළේ නැහැ. එයින් පසුව එක්සත් ජාතික පක්ෂයේ සිටිය අපි 19 දෙනෙකු ආණ්ඩුවට එකතු වෙලා අයවැය සම්මත කරගන්න සහාය ලබාදුන්නා. බැරි වෙලාවත් එදා අයවැය ලේඛනය පැරදුනා නම් ප්‍රභාකරන් තවමත් ඉන්නවා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට පුළුවන් වුණා එදා යුද්ධය අවසන් කරන්න. ඒ නිසා අපිට යුද්ධයක් නොමැති රටක ජීවත් වෙන්න පුළුවන් වී තිබෙනවා. අද ඕන තැනක යන්න එන්න පුළුවන්. නමුත් දෙමල ඩයස්පෝරාවට යුද්ධයෙන් කරන්න බැරිවුණු දෙය අද ඡන්දයෙන් කරන්න යනවා. 2010 වසරේ දී ජාත්‍යන්තරයේ අවශ්‍යතාවය මත මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. 2015 වසරේ දී නැවතවරක් ජාත්‍යන්තරය එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළා. ඒ මහතා ජයග්‍රහණය කළා. ජාත්‍යන්තරයත් හිතුවා රාජපක්ෂලා ඉවරයි කියලා. නමුත් එයින් පසුව ලක්ෂ 69 ක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන්නා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා, ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන විශාල පිරිසක් මේ ස්ථානයේ සිටිනවා. අපි ලබාදෙන පණිවුඩය අසල්වාසීන්ට, ගම්වැසියන්ට ලබාදෙන්න. ජනාධිපතිවරණයේ දී කාටද ඡන්දය දෙන්නේ කියලා මේ දක්වා තීරණයක් නොගත් අයටත් පණිවුඩයක් ලබාදෙන්න. රණවිරුවන් කාණ්ඩය ගැන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක මහත්වරු සොයා බලන ආකාරය පසුගිය දිනවල අපි දැක්කා. ඔවුන්ගේ සුබ සාධනය පිළිබඳව සොයා බලනවා. ඔවුන්ගේ දරුවන්ගේ සුබසාධනයත් බලනවා. මේ රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳනවා කියා ඔවුන් ඒකරාශී කරගෙන රැස්වීම් පවත්වනවා. මේ රණවිරුවන් බුද්ධිමත්. ඒ රැස්වීම්වට ගියාට ඒ පක්ෂවලට ඡන්දය දෙයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. යහපාලන රජය කාලයේ බරපතල ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ රණවිරුවන් පාවා දුන්නා. හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා නුවරට ගොස් අපේ රණවිරුවන් යුද අපරාධ කළා කියා පිළිගත්තා. පිලිගෙන අපිට විරුද්ධව 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූවා. මේ දක්වා ලෝකයේ කිසිම රටක් අද දක්වා තමන්ගේ රටේ රණවිරුවන් යුද අපරාධ කළා කියා පිළිගෙන නැහැ. නමුත් නොකළ යුද අපරාධ කලායැයි කියා පිළිගත්ත අපේ රට ඇතැමුන් රණවිරුන් ගෙන්වා මේ විදියට සුබසාධනය බලනවා. යුද අපරාධ කියන එක ඉතාම බරපතලයි. පරණගම කොමිසමට ජාත්‍යන්තර යුද විශේෂඥයන් 6 දෙනෙකු අනුයුක්ත කර තිබුණා. ශ්‍රීමත් ජෙෆ්රි නයිස්, ඩෙස්මන් ද සිල්වා, මහාචාර්ය මයිකල් ග්‍රේන්, මහාචාර්ය මයිකල් නිව්ටන්, මේජර් ජනරාල් ජෝන් හෝම් සහ රොඩ්නි ඩික්සන් ඒ අතර වෙනවා. ඒ සියලු දෙනාම අපේ රණවිරුවන් යුද අපරාධ කළේ නැහැ කිවුවා. එහෙම කියද්දීත් ඒ වාර්තාව පසෙකලා යහපාලන රජය විසින් අපි යුද අපරාධ කළා කියා පිළිගත්තා. යුද සමයේ දී උතුරට ආහාර සහ ඖෂධ රැගෙන යාම වැළැක්වූවා කියා එක් යුද අපරාධයක් තිබෙනවා. මානුෂීය ආධාර සඳහා පැවැති උපදේශන මණ්ඩලය විසින් පැහැදිලි කළා. මේ තත්ත්වය දැක්කම ලංකා හමුදාවට රන් පදක්කමක් දෙන්න ඕන කියා කිවුවා. තවත් අයෙක් කිවුවා මේක සමස්ත ලෝකයටම ආදර්ශයක් කියලා යැයි පැවසීය. බස්නාහිර පළාත් හිටපු ඇමැති උපාලි කොඩිකාර, මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img