Friday, July 17, 2026
HomeNEWSආණ්ඩුව අදූෂිත නිසා ආයෝජකයන්ගේ ආකර්ශනය වැඩිවී තිබෙන බව ජනපති කැකිරාවේදී කියයි.

ආණ්ඩුව අදූෂිත නිසා ආයෝජකයන්ගේ ආකර්ශනය වැඩිවී තිබෙන බව ජනපති කැකිරාවේදී කියයි.

කැකිරාව සුහද හමුව – 2025.01.26රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීම තිබෙන්නේ ජනතාව සමඟ පමණයි. ශ්‍රීලංකා ආණ්ඩුව අදූෂිත නිසා ආයෝජකයන්ගේ ආකර්ශනය වැඩිවී තිබෙනවා – ජනාධිපති අනුර කුමාර දිසානායකජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ අනුරාධපුර කැකිරාව තිබ්බටුවැව පාසල් ක්‍රීඩාංගණයේ 26 දින පැවැති සුහද හමුවට එක්වෙමිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩි දුරටත් මෙසේ කීය.සැප්තැම්බර් මාසයේ අප ජයග්‍රහණය කළාට තිබුණේ පොඩි ආණ්ඩුවක්. නොවැම්බර් මස 14 වැනිදා මහ මැතිවරණය පවත්වා නොවැම්බර් 21 වෙනිදා කැබිනට් මණ්ඩලය පිහිටුවීමට අපට හැකිවුණා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී ලබාගත හැකි උපරිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගෙන දැවැන්ත ජයග්‍රහණයක් කළා. අද වන විට ආණ්ඩුවට මාස දෙකක් වෙනවා. මේ කෙටි කාලය ඇතුළත ජයගත යුතු අභියෝග කිහිපයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණි විට ජාත්‍යන්තර සබඳතා බිඳ වැටේ යැයි සමහර කණ්ඩායම් ප්‍රචාරය කළා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණියහොත් ආර්ථිකය කඩා වැටේ යැයි සමහර කණ්ඩායම් ප්‍රචාරය කළා. ජාතික ජන බලවේග ආණ්ඩුවකදී කර්මාන්තකරුවන් ආයෝජකයින් රට හැර යනු ඇතැයි තවත් සමහරු ප්‍රචාරය කළා. ඒ වෙලාවේ ශ්‍රී ලංකාවේ තිබුණේ ඕනෑම අවස්ථාවකට ඔරොත්තු දෙන ආර්ථිකයක් නොවෙයි. එය තවත් ඉදිරියට ගියා නම් ඩොලරයේ පාලනය ගිලිහෙන්නට ඉඩ තිබුණා.ඒ නිසා අප ආණ්ඩුවේ විශ්වාසය තබා ගැනීමට කටයුතු කළා. කොටස් වෙළඳපොළ වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. නමුත් කොටස් වෙළඳපොළෙන් සමස්ත ආර්ථිකය පිළිබිඹු වන්නේ නැහැ. නමුත් කොටස් වෙළඳපොළෙන් ආයෝජකයන්ගේ විශ්වාසය ඇති කරනවා. පහුගිය දෙසැම්බර් මාසයේ සිට කොටස් වෙළඳපළේ අගය ඉහළ යමින් තිබෙනවා.අපේ රට විශාල ලෙස බංකොලොත් භාවයට පත්ව තිබුණා. අපේ බැංකු පද්ධතිය ගණන් ගත්තේ නැහැ. රට ඇණ හිටලා තිබුණා. වත්මන් රජය දෙසැම්බර් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගතෙකරණය අවසන් කළා. ඒ සමගම ලංකාව එතෙක් පැවති බංකොලොත්භාවයෙන් මුදවාගැනීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවට හැකි වුණා. බංකොලොත්භාවය නිසාම මේ රටේ සිදු කරමින් තිබුණු සංවර්ධන ව්‍යාපෘති අතරමග නවතා දමා තිබුණා. ජපන් රජය විසින් එලෙස ව්‍යාපෘති 11ක් නවතා දමා තිබුණා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල්කිරීමේ ව්‍යාපෘතියත් ඒ සමග තිබුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ජපන් රජය එම ව්‍යාපෘති 11ම නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. චීන රජය විසින් ඉදිකරමින් තිබුණු සහ ඉදිකිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති 76ක් නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. ලොක්වී තිබුණ රට නැවත දුවන්න පටන් ගත්තා. චීන සංචාරයේදී මේ සඳහා විශාල ගාමක බලයක් ලැබුණා. ජාතික ජන බලවේගය ආණ්ඩුව විදේශ රටවල සමග ඇති විශ්වාසය තහවුරු කර තිබෙනවා.කැකිරාවට එන්න පරක්කු වුණාට අපේ පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට ගියා. මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ණය ආධාරයක් ලෙස ලබාදී තිබුණේ. එය ඉන්දියානු සංචාරයේදී ආධාරයක් බවට පත්කර ගැනීමට හැකිවුනා. නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා ප්‍රධානයක් ලෙස ආධාර ලබාදීමට ඉන්දියානු රජය එකග වී තිබෙනවා. වත්මන් ආණ්ඩුව පිළිබඳව විශ්වාසය ජාත්‍යන්තරය තුළ ඇති කිරීමට අප සමත්ව තිබෙනවා.සූර්ය බලාගාරයක් සාම්පුර්හිදී ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඉන්දියානු සමාගමක් විසින් මේ ආයෝජනය සිදු කරමින් තිබුණා. මීට පෙර එම සමාගමෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගත වී තිබුණේ රුපියල් 24ක මිලකටයි. එය අප සංශෝධනය කර විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මිල රුපියල් 17 දක්වා අඩු කර ගැනීමට කටයුතු කළා. ආයෝජකයන්ට විශ්වාසනීය රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙනවා. චීන රජය පාසල් නිල ඇඳුම් සඳහා ලබා දුන් 80%ක ආධාරය 100% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා. එය 2026 වසරටත් නිල ඇඳුම් ලබාදීමට චීන රජය එකඟ වුණා. හම්බන්තොට පිරිපහදු මධ්‍යස්ථානය සඳහා ඩොලර් බිලියන 3.7ක් ලබාදුන්නා. ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනය වන්නේ එයයි. හම්බන්තොට විශාල සම්න්ත්‍රණ ශාලාවක් ආධාරයක් ලෙස ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. නිවාස 2000ක් චීන රජයේ ආධාර මත ඉදිකරමින් තිබෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩුව අදූෂිත ආණ්ඩුවක් නිසා ආයෝජකයන්ගේ ආකර්ශනය වැඩිවී තිබෙනවා. කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට වන්දියක් ගෙවීමට තිබුණා. එම වන්දිය 50%කින් අඩු කර ගැනීමට අප සැලසුම් කරමින් තිබෙනවා. එම මාර්ගය නැවත ඉදිකිරීම සඳහාත් චීනයේ ආධාර ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.සාමාන්‍ය ජනතාව බලා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු කළා. අස්වැසුම ලබාදෙන ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කළා. අස්වැසුම ලබාදෙන කණ්ඩායම් පිළිබඳ නැවත සමාලෝචනයක් ජුනි මාසයේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ආධාර ලැබිය යුතු කොටස්වලට ඉලක්ක කර ආධාර ලැබීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ බොහෝ ආණ්ඩුවල සැලැස්ම වන්නේ ආධාර ලැබිය යුතු ජන කොටස්වලට ආධාර ලබාදීමයි. ඒ සඳහා නිවැරදි දත්ත එකතු කිරීමක් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ ආධාර ලබා දුන්නේ පුරවැසියන් බලා ගන්නා කෝණයෙන් නොව දේශපාලන කෝණයෙනුයි. එමනිසා ආධාර ලැබිය යුතු පුරවැසියා රැක බලා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරනවා. මේ සියලුම මුදල් ජනතාවගෙන් ලැබෙන බදුමුදල්. එම නිසා ඉලක්ක කර නිශ්චිත වැඩසටහන් සිදු කළ යුතුයි. අස්වැසුම ලැබිය යුතු නමුත් නොලැබෙන කොටසක් ගම්වල ඉන්නවා. එම නිසා අස්වැසුම පිළිබඳ නැවත සංගණනයක් කළ යුතුයි.පාසල් උපකරණ ලබාගත නොහැකි දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා ආධාර කිරීමට වැඩපිළිවෙළක් සකස් කළා. මේ දරුවන් සොයා ගන්නේ කෙසේද යන්න පැනයක් ආවා. එහිදී අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට දෙමු කියා යෝජනාවක් ආවා. නමුත් එහිදී අස්වැසුම ලැබෙන සියලුදෙනාට අමතරව තවත් දරුවන් පිරිසක් සිටියා. එම නිසා මෙම දත්තවල යම් වියවුලක් තිබෙනවා. ඒ නිසා 300ට වඩා අඩුවෙන් සිටින පාසැල්වල දරුවන්ටත් රුපියල් 6000ක දීමනාවක් ලබාදීමට තීරණය කළා. නිවැරදි දත්ත ලැබුණායින් පසුව ආධාර ලැබිය යුතු ප්‍රජාව ඉලක්ක කරගෙන ආධාර ලබාදීමට කටයුතු කරනවා. ලබන වසර වන විට මෙහ නිවැරැදි දත්ත එකතු කරගෙන නිවැරැදි දීමනාව ලබාදීමට කටයුතු කරනවා.මාස දෙකක් තුළ අපි ජනතාව බලා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. තවමත් අප අයවැය ලේඛනයක් ඉදිරිපත් කර නැහැ. අයවැය ‍ලේඛනය පෙබරවාරි 17 වැනිදා ඉදිරිපත්කරනවා. එලැඹෙන අයවැය ලේඛණය මඟින් වැඩිහිටි දීමනාව, වැටුප් වැඩවීම, මහපොළ දීමනා සියල්ල වැඩිකිරීම සිදු කරනවා. ශතයක්වත් හොරකම් කරන්නේ නැති දේශපාලන අධිකාරියක් පිළිබඳ ජනතාවගේ අපේක්ෂාවක් තිබුණා. පසුගිය කාලයේ ඇගේ හැප්පෙන ගානට ඇමැතිවරු හිටියා. අප ඇමැතිවරු ප්‍රමාණය 21 දක්වා අඩු කළා. ඇමැතිවරුන්ට නිළ නිවාස දෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන බලපත්‍ර ලබාදෙන්නේ නැහැ. විශ්‍රාම වැටුප ලබාදෙන්නේ නැහැ.එහෙම අඩු කරගෙන එනකොට හිටපු ජනාධිපතිවරුන්ගෙත් ඇතැම් වරප්‍රසාද අඩු කළා. ඔවුන් ගිහින් නඩු දානවා. ලැජ්ජයිනේ. හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම කෝටි 70යි. පරණ ඇබ්බැහිය අතහැරිය යුතුයි. රට පුරාම ජනාධිපති මන්දිර තියෙනවා. කොළඹ ජනාධිපති මන්දිරය හා නුවර ජනාධිපති මන්දිරය පමණක් තබාගෙන සියළු මන්දිර හා ඇමැති මන්ත්‍රී නිවාස වෙනත් කටයුතු සදහා යොදාගන්නවා. එම නිවාස ජාතික ආර්ථිකයට දායක කර ගන්නේ කෙසේද කියා විමසමින් තිබෙනවා. යාපනය මන්දිරය විශ්වවිද්‍යාලයක් කිරීමට ආයෝජනයක් මේ වන විට ඇවිත් තිබෙනවා.එක් හිටපු ජනාධිපතිවරයකුගේ නිවස වර්ග අඩි 30,500යි. දෙන්නෙක්ට ඉන්න එච්චර ප්‍රමාණයක් ඕනද? හිටපු ජනාධිපතිනියගේ නිවස වර්ග අඩි 15,000ක්. එක්කෙනෙක් ජීවත් වෙන්න එච්චර ඕනැද? නාස්තිකාර ජීවිත දැන්වත් නවත්වන් කියා අප ඉල්ලා සිටින්නේ. කොළඹ පැල්පත් නිවාස වර්ග අඩි 450යි. එහි දරුවන් දෙදෙනෙක් සමඟ හතරදෙනක් ජීවත් වුණා. ඒ මේ නාස්තිකාර ජීවිත දැන්වත් නවත්වන්න කියලා අපි ඉල්ලනවා.වරාය ඉලක්ක කර ගනිමින් විශාල ආර්ථිකයක් ගොඩනැගීමට අප සැලසුම් කර තිබෙනවා. 2030 වන විට කොළඹ වරායේ කන්ටේනර් ලක්ෂ 113ක් මෙහෙයුම් කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා. හිටපු නායකයින්ට වරාය සම්බන්ධයෙන් කිසිම සැලසුමක් තිබුනේ නැහැ. වරාය ගේට්ටු හතරක් තිබෙනවා. නමුත් ගේට්ටු දෙකයි ක්‍රියාත්මක වන්නේ. ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමටවත් හිටපු නායකින් කටයුතු කර තිබුණේ නැහැ. ඒ නිසාම වරායේ තදබදය වැඩිවෙලා. නැගෙනහිර ජැටියේ වැඩකටයුතු ලබන ජූනි මාසය වෙන විට අවසන් කිරීමට කටයුතු කරනවා. එවිට තවත් කන්ටේනර් මෙහෙයුම් වැඩිවෙනවා. තවත් තදබදය වැඩිවෙනවා. ඒ නිසා කෙරවළපිටියේ බහාළුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමට අප සැලසුම් කළා. එය ඉදිකිරීමට තව වසරක් ගත වේවි. මෙම බහාලුම් මෙහෙයුම් කිරීමට කඩිනම් සැලැස්මක් අවශ්‍යයි. දැක්මක් සහිත පාලකයන් නොහිටි නිසා වරායේ තදබදය තවත් වැඩි වී තිබෙනවා. අප එය ටිකෙන් ටික තදබදය අඩු කරන තැනට පත් කරමින් තිබෙනවා.පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරනවා. නාගරිකව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රමවේදය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පැති ගණනාවක් ඔස්සේ අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා.ලෝකයේ එක කාලයක් අව්ව වැස්ස දිහා බලා ගමන් කළා. නමුත් මේ වන විට ලෝකය ගමන් කරන්නේ දත්ත මතයි. එම නිසා නිෂ්පාදනය පරිභෝජනයට ප්‍රමාණවත් ද, නැද්ද කියා සොයා දෙන්නේ දත්ත මගිනුයි. එම දත්ත එක් රැස් කිරීම පරිපූර්ණ ලෙස කළ යුතුයි. මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැහැ. වී වලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට අප කටයුතු කරනවා.සමහර දැන් දූෂිතයින් ඇල්ලුවද කියලා අහනවා. ආණ්ඩුවක් විදියට අපි නඩු අහදන්න යන්නේ නැහැ. අපි නිතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කර තිබෙනවා. පරීක්ෂණ කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් කොමිසම තියෙනවා. ඒවට සහය දෙන්න නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා. පරීක්ෂණවලින් හෙළිදරව්වෙන කරුණු මත නීතිපති දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කරලා නඩු පවරනවා. ඒ අය පරීක්ෂණ කඩිනම් කර තිබෙනවා. ඒ ඒ පරීක්ෂණ අවසන් වන ආකාරයට අධිකරණයට ඉදිරිපත් කරනවා. ශක්තිමත්ව සාක්ෂි ඉදිරිපත් කිරීම අදාළ ආයතන සතු වගකීමක් වෙනවා. පහුගිය කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බිඳවට්ටලා තිබුණේ. ෆයිල් ගොඩගැහිලා තිබෙන්නේ. අපි අපරාධ වර්ගීකරණය කළ. කුඩා අපරාධ, මිනීමැරුම්, මූලළු අපරාධ ආකාරයට. සමහර පරීක්ෂණ අසීරුයි. සමහර පරීක්ෂණ පහසුවෙන් සිදු කළ හැකියි. කවුරුන් හෝ ඉලක්කගත කර ගෙන පරීක්ෂණ සිදු කරන්නේ නැහැ. හොරකම් කළා නම් ලොකුද පොඩිද කියා නැහැ. හොරකම නම් හොරකම තමයි. අපි පරීක්ෂණ වේගවත් කිරිමට උපදෙස් ලබාදී තිබෙනවා. දූෂණයෙන් තොර ආණ්ඩුවක් නිර්මාණය කළේ දූෂිතයින්ට එරෙහි පරීක්ෂණ කඩිනම් කරන්නයි. පසුගියදා ප්‍රවෘත්තියක් පළ වුණා. හිටපු ඇමැති හා බිරිද අත්අඩංගුවට ගත්තා කියාල. නමුත් එය හිටපු ඇමැති හා ඇමැති පෞද්ගලික ලේකම් කියා නිවැරැදි විය යුතුයි. බිරිද රජයේ සේවය කළා නම් ඊට වගකීමක් නැද්ද? ආණ්ඩුවට දූෂිතයන්ට දඩුවම් දෙන්න උවමනාවත් තිබෙන විට නීතිපති දෙපාර්තමේන්තුවට ඒවා කඩිනම් කිරීමට උවමනාවක් තිබෙනවා. නමුත් පැවැති ආණ්ඩු දූෂණය කරන නිසා නිතිපති දෙපාර්තමේන්තුවටත් එම උවමනාව තිබුණේ නැහැ.මීට පෙර ආණ්ඩු නිර්මාණය වුණේ පරම්පරාවෙන් පරම්පාරාවට, නැතිනම් කුමන්ත්‍රණවලින් මාධ්‍ය බලය හෝ මුදල් පොම්පකරමිනුයි. නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවයි. එ නිසා අපට බැඳීම තිබෙන්නේ ජනතාව සමඟ පමණයි. ලබන මාසයේ අප නව අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. එහිදී ජනාව සමඟ අප සතු බැඳීම පෙන්නුම් කරනවා. අනුරාධපුර කලාපයේ වාරිමාර්ග දියුණු කිරිමට අප සැලසුම් කර තිබෙනවා. පැරණි වාරිමාර්ග ක්‍රමවේද 07ක් අනුරාධපුර නගරයේ තිබෙනවා. එම වාරිමාර්ග ක්‍රමවේද හත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනවා. මෙවර අයවැයෙන් වෙන් කරන මුදල් නිශ්චිත ව්‍යාපෘතිවලට වියදම් කරන්න අවශ්‍යයි. ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.නව ගොවිපළවල්වල හිමිකාරීත්වයක් ඇති කිරීම සඳහා තරුණ පරම්පරාවට අවස්ථාව ලබා දෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියක් ඇති කිරීම මඟින් ආර්ථිකය ඔසවා තැබීමට සැලසුම් කරනවා. ගම දියුණු වී ආර්ථිකයක් ඉහළට යෑම අවශ්‍ය කරනවා. කුඩා කාන්තා සමිති එක්කර වී මෝල් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ආර්ථිකය සඳහා අලුතෙන් ප්‍රවිෂ්ඨ වන අයට රාජ්‍ය බැංකුවක් සමඟ ඒකාබද්ධ වී සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් සකස් කරනවා. ඒ යටතේ සහන පොළියට ණය ලබා දෙනවා. ව්‍යාපෘති වාර්තාව පෙන්වා කර්මාන්ත අමාත්‍යාංශය අනුමැතිය සහිතව බැංකුවට ඉදිරිපත් කළ විට ණය ළබාදීමේ ක්‍රමවේදයක් ඇති කරනවා. රුපියල් කෝටි දෙකහමාරකට අඩුවෙන් ණය ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් පමණ තිබෙනවා. එය නිවැරැදි ක්‍රමවේදයට බඳවා ගැනීමට කටයුතු කරනවා. රටක් ලෙස තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට අප සියලු දෙනා එක් වී කටයුතු කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img