මෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම ගැන අවධානයමෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේත් සිරියාවේත් අවධානය යොමු වී තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකාව සහ සිරියාව අතර වෙළ වෙළදාම හා දෙරටේ ආර්ථික සහයෝගිතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද දෙරටේම අවධානය යොමුවී ඇත.මෙම කරුණ අවධාරණය වූයේ ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතා සහ සිරියාවේ අන්තර්වාර රජයේ අමාත්‍යවරුන් කීප දෙනෙකු සමග පසුගියදා සිරියාවේ ඩමස්කස් නුවරදී පැවැති සාකච්ඡාවකදීය. සිරියාවේ වෙළඳ අමාත්‍ය කලින් අල් හසාන්, වාණිජ අමාත්‍ය අබ්දුල් හස්නන්, කම්කරු හා සමාජ සුභසාධන අමාත්‍ය යයිඩ් අල් කාසීම් මහත්වරුන් සමඟ ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවිර මහතා සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ තේ සඳහා සිරියාව තුළ විශාල වෙළඳපොලක් පවතින අතර එය තවදුරටත් පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.දෙරටේම සංචාර කර්මාන්තය දියුණු කර ගැනීම හා දෙරටේ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාව සහ සිරියාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

























