එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (25) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස්ජාතික වස්තුන් හැටියට සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම ජාතියේ වගකීමක්…ප්‍රථමයෙන්ම මම මේ මාධ්‍ය හමුව අවස්ථාවක් කරගන්නවා අපේ රටේ කලා ලෝකයේ නිළි රැජිණ ලෙසින් විරුදාවලී ලත් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීනී මාලනී ෆොන්සේකා මහත්මියට ශෝකය පළ කරන්න. එතුමියගේ අහිමි වීම අපේ කලා ක්ෂේත්රයට මෙන්ම අපේ රටටත් සිදු වූ විශාල පාඩුවක් හැටියටයි අපි දකින්නේ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතුමිය අසනීප වූ අවස්ථාවේ සිට රජයෙනුත්, පුද්ගලිකවත් කළ යුතු යුතුකම් එතුමිය වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කළ බව මා පුද්ගලිකවම දන්න නිසා මේ අවස්ථාවේ එය ප්‍රකාශ කරනවා. කොහොම නමුත් එතුමිය දැන් අපේ ජාතියට අහිමි වෙලා තිබෙනවා. මොකද එවැනි කලාකාරීනියක් නැවත සමාජගත වීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසාම තමයි එක්තරා අවස්ථාවක එතුමියට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නත් ජාතික ලැයිස්තුව තුළින් අවස්ථාව ලබාදුන්නේ. ඒ හරහා සමස්ථ කලා ක්ෂේත්රයටම ගෞරවයක් හිමිවුණා කියලා අපි හිතනවා. ඒ වගේම අද ඇතැම් අය එතුමියට ජනාධිපති අරමුදලින් ලබාදුන් මුදලක් ගැන නොයෙක් ප්‍රකාශ කරනවා. ඇතැම් අය කියනවා එතුමියට දුන්නට අපිට දුන්නේ නෑ කියලා. ඉතින් මෙවැනි අවස්ථාවක සෑම පුද්ගලයෙක්ම එක හා සමානව බලන්න බෑ. ජාතික වස්තුන් හැටියට සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම ජාතියේ වගකීමක් බව අප මතක තබා ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් නැවත වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම වැපිරීම නොකළ යුතුයි කියා මා ප්‍රකාශ කර සිටිනවා. එම අවස්ථාවේ මාධ්‍යවේදීන් වජිර අබේවර්ධන මහතාගෙන් ඇසු ප්‍රශ්න සහ ඒ මහතා ඒවාට ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.ප්රශ්නය -සභාපතිතුමා, මේ දවස්වල විපක්ෂයේ එකතුවීමක් ගැන කතාවක් අපට අහන්න ලැබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?පිළිතුර – රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුත් විපක්ෂ කායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුත් විපක්ෂයේ සිටින පක්ෂ සියල්ලම සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සාකච්ඡා ඉතාමත් සාර්ථක අන්දමින් ඉදිරියට ගොස් තිබෙනවා. විශේෂයෙන්ම රජයේ මහජන නියෝජිත සංඛ්‍යාවට වඩා රජයට විරුද්ධ මතය දරන විශාල පිරිසක් මහජනයා විසින් මහජන නියෝජිතයින් හැටියට තෝරා පත් කරගෙන තිබෙනවා. එවැනි අවස්ථාවක තිබෙන වගකීම තමයි ඒ සභාවල් කෙසේද අනාගතයේ ගමේ සහ නගරයේ මහජනතාවට යහපත් වන පරිදි හැසිරවීම කියන කාරණය. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය උපදෙස් සහ ඉලක්ක ලබාදීමට අප විපක්ෂයක් ලෙස කටයුතු කරමින් සිටිනවා. ප්රශ්නය – ඒ වගේම සභාපතිතුමා රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද?පිළිතුර -අපි පසුගිය කාලය පුරාම සමස්ථ මහජනතාවගෙන් ඉල්ලීමක් කළා, අපි යන පාරෙන් පිට වෙනත් පාරක් නොමැති බව. අපි පුන පුනා කිව්වා මේ යන ගමන් මග වෙනස් කරන්න එපා කියලා. නමුත් කෙසේ හෝ මහජනතාව තීන්දුවක් අරන් තිබෙනවා. ඒ ගත්ත තීන්දුව අද මහජනතාව භුක්ති විඳිමින් සිටිනවා. නමුත් තවම එහි අනිසි ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවුණේ නැහැ. මේ වර්ශයේ අවසන් මාස කිහිපය වනවිට ජාතියක් හැටියට නැවත වරක් මහා පරිහානියකට සහ රට හසුරුවා ගත නොහැකි තැනකට ගමන් කරනවා. අන්න එසේ පරිහානියට පත්වෙන ශ්‍රී ලංකාව කෙසේද අපි ඒකාබද්ධ සියලු විපක්ෂයේ කණ්ඩායම් ඒ සඳහා මුහුණදෙන්නේ කෙසේද යන්න මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා. වැටෙන රට ගොඩගැනීමටත් ශ්‍රී ලාංකික මහජනතාව කුමන ආකාරයකින් කල්පනා කලත් ශ්‍රී ලාංකික මහජනතාව ආරක්ෂා කිරීමට අප කැපවී ක්‍රියා කරනවා.






















