BYD ATTO 3 ඇටෝ ත්‍රී වර්ගයේ මෝටර් රථ දහසක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර තබාගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.කෙසේ වෙතත් අදාළ මෝටර් රථවල එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන ජෝන් කීල්ස් සමාගම පවසන්නේ, ඔවුන්ගේ සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට අනුකූල බවට සහතික කරන බවය. මේ අතර CROSS BORDER ණයවර ලිපි විවෘත කරමින් කොන්දේසි සපුරා නොමැතිව ආනයනය කළ රථවාහන ප්‍රතිඅපනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කළේය.CROSS BOARDER LC හෙවත් දේශසීමා ණයවර ලිපි විවෘත කර ආනයනය කරන ලද රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හම්බන්තොට වරායේ නිශ්කාශනය නොකර ගාල්කර තිබේ.මේ අතර BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ දහසක් පමණ ද හම්බන්තොට වරායෙන් නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව රඳවා තබාගෙන තිබේ.ඊට හේතු වී ඇත්තේ මෙරටට ආනයනය කරන ලද ATTO 3 මාදිලියේ රථවල මෝටර් බලය 100kW ලෙස නිෂ්පාදනය කර පැමිණියද, එම මාදිලියෙන්ම වෙනත් රටවලට ආනයනය කරන වාහනවල මෝටර් බලය 150kW වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයයි.






















