2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ථ විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය ලක්ෂ 16 ඉක්මවා යාම විශේෂත්වයක් බව ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 07 හෝටලය වන අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් ප්‍රකාශ කරනවා.මෙරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ විශාල දායකත්වයක් දක්වන සංචාරක කර්මාන්තයේ මේ වන විට සුවිශේෂි ප්‍රවර්ධනයක් දක්නට ලැබීම වඩාත් කැපී පෙනෙන තත්ත්වයක් බවද අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් පෙන්වා දෙයි. ලෝක සංචාරක දිනයට සමගාමීව මැදදුම්බර ප්‍රදේශය කේන්ද්‍ර කොට මධ්‍යම පළාත් සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය මගින් පසුගියදා පැවැත්වූ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගී වූ ඒ මහතා ඉහත අදහස් පළ කළේය. මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ආචාර්ය තිසර හේවාවසම් මහතා කියා සිටියේ මැද දුම්බර ප්‍රදේශය යනු මෙරට සංචාරක ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂයක් වශයෙන් කේන්ද්‍රගත වන ස්වභාවික සම්පත් රැසකින් අනූන කලාපයක් බැවින් මෙම කලාපය ආශ්‍රිතව මෙරට ප්‍රථම තරු 07 සංචාරක හෝටලය පරිසරය හා බද්ධව ආරම්භ කිරීමට පියවර ගත් බවය. අද වන විට අපේ රටේ සංචාරක කර්මාන්තය උපරිම ආදායම් මාර්ගයක් ලබන ක්ෂේත්‍රයක් බවට පත්කර ගැනීමට සැලසුම් අවශ්‍ය වේ. යල් පැනගිය අදහස් වෙනුවට නව සංවර්ධන සංකල්ප ඔස්සේ නව ගමන් ආරම්භ කිරීම වැදගත් වේ. සංචාරක කලාපවලින් අනූන භූමියක් ලෙස ලංකාව හඳුන්වා දිය හැකිය. මන්ද, ආකර්ෂණීය ස්ථාන, ස්වභාවික සෞන්දර්ය, හිතකර දේශගුණය, මනරම් වෙරළ තීරය සහ ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වූ ඉහළ ආගන්තුක සත්කාර වැනි කරුණු අපගේ සංචාරක කර්මාන්තයහි අනාගත දියුණුවට වැදගත් වේ. එමෙන්ම අප රටේ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට සමත් වූ බොහෝ ප්‍රදේශ අතර නැඟෙනහිර ප්‍රදේශයේ සේරුවිල, ත්‍රිකුණාමලය, කල්කුඩා, මඩකළපුව සහ පාසිකුඩා ස්ථාන ඒ අතර වැදගත් වේ. ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථාන මෙන්ම ආගමික වශයෙන් වැදගත් ස්ථාන සංචාරකයන්ගේ අවධානයට ලක්ව ඇත. සංචාරක ව්‍යාපාරයේ බලපෑම සහ වඩාත් තිරසාර සහ සුහද ලෝකයක් නිර්මාණය කිරීමට එහි ඇති හැකියාව හඳුනා ගැනීමට ගෝලීය ප්‍රජාව සමඟ එක්වීම වැදගත් බව කිව හැකිය. 2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් ඇත.ලෝක සංචාරක දිනය මේ අවස්ථාවේදී සමරනවා. මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය මෙන්ම දියුණුව උදෙසා දැවැන්ත ව්‍යාපෘතියක් කරගෙන යනවා. මේ ප්‍රදේශයේ ජීවත්වෙන සංචාරක කර්මාන්තය හා බැඳුණු සියලු දෙනා එක්ව මේ උත්සවය සංවිධානය කරා. මේ අවස්ථාව ඉතාමත් මහඟු අවස්ථාවක්. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය හා සම්බන්ධ නිලධාරීන් උගතුන් විද්වතුන් රාශියක් එකතු වෙලා මේ ප්‍රදේශය තුළ මෙවැනි දෙයක් සංවිධානය කරපු එක ගැන මං ඉතාමත් අගය කොට සලකනවා. ඒත් එක්කම මෙවැනි වැඩසටහන් තුළින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් අපේ බාල පරම්පරාව ඒ සඳහා යොමු කිරීමටත් හොඳ ආදායමක් ලබාගැනීමටත් සාම්ප්‍රදායික වෙළඳපොළෙන් ඈත් වී කර්මාන්ත දියුණු කිරීමත් මේ ප්‍රදේශය ඉතාමත් හොඳ සංවර්ධන මට්ටමකට ගෙනයාමටත් මේ සංචාරක කර්මාන්තයෙන් අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා.ඇත්තටම අවියානා සිලෝන් ව්‍යාපෘතිය ලබන වසරේ දී විවෘත වීමට නියමිතයි. මම බලාපොරොත්තු වන ආකාරයට ලංකාවේ වැඩිම ආදායමක් ලබන සහ ලෝකයේ ලංකාව කියන නම එක්තරා ස්ථානයකට ගෙනියන මෙම ව්‍යාපෘතිය ඉතාමත් ඉක්මනින් ආරම්භ වේවි. ඒ සඳහා මේ ප්‍රදේශයේ සියලු දෙනා කල කැප කිරීම් සහ අපට දැක්වූ සහයෝගය මේ අවස්ථාවේදී ඉතාමත් සුහදව සහ සතුටින් මතක් කරන්න කැමතියි. මැද දුම්බර කොට්ඨාසය සංචාරක කලාපයක් ලෙස හඳුනාගත්තේ වික්ටෝරියා ව්‍යාපාරයත් එක්ක.මේ වික්ටෝරියා ව්‍යාපාරය තුළින් ආරම්භ වෙච්ච සංචාරක කර්මාන්තය ආසියාතික රටකට ලැබිච්ච විශාල වරමක් ලෙස මම දකිනවා. විශේෂයෙන්ම වික්ටෝරියා රැජින මෙම ස්ථානයට පැමිණිලා තිබෙනවා. ඒ අය පැමිණිලා මේ ස්ථානයේ ඓතිහාසික වශයෙන් වැදගත් බවට පත්කරල ලෝකය පුරා ජනප්‍රිය කරල තියෙනවා. මේ දේවල් සියල්ල සංචාරක කර්මාන්තය වෙනුවෙන් කරපු සහ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් කරපු දේවල් හැටියට මම දකිනවා. මේ ප්‍රදේශයට සංචාරක කර්මාන්තය ලබාදීම ආරම්භයත් එක්ක තවත් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා මගේ විශ්වාසය සහ ප්‍රාර්ථනාව එයයි.සංචාරක කර්මාන්තය මං හිතන්නේ යුද්ධයෙන් පස්සේ ඉතාමත්ම ඉක්මනින් වර්ධනය වුණා . 2018 වර්ෂය වන විට සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් ලංකාවට පැමිණුනා. ඒ මිලියන 2.5 ක් පමණ. අවාසනාවකට වගේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් උවදුර දේශපාලන අස්ථාවර බව කියන මේ සියල්ල නිසා තමයි සංචාරක කර්මාන්තය කඩාවැටීමක් සිද්ධ වුණේ. නමුත් දැන් රට ස්ථාවරයි. මේ අවස්ථාව වන විට මේ පුංචි දිවයින ලෝකයේ පැරණිම සංචාරක දිවයිනක් ලෙසත් අපේ විනය සහ අපේ සංචාරක සංග්‍රහශීලීත්වය ලෝකය පුරා පැතිරිලා තිබෙනවා. මේ අවස්ථාව ඉතාමත්ම හොඳ අවස්ථාවක්. සංචාරක කර්මාන්තය න් ආරම්භ කරන්න කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවනම් සංචාරක කර්මාන්තයේ යෙදෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මීට වඩා හොද අවස්ථාවක් නැහැ කියන එක තමයි මගේ අදහස යනුවෙන්ද අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් පැවසීය.මෙම ලෝක සංචාරක වැඩසටහනේ අවසන් අංගයන් සියල්ල මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල එළිමහන් රංග පීඨය ආශ්‍රිතව පැවති අතර ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ නර්තනාංග, සංස්කෘතික අංග, විවිධ කලා නිර්මාණ , හස්ත කර්මාන්ත, විවිධ ආහාර රටා ඇතුළු සංචාරක කර්මාන්තයට විශේෂිත වූ අංග රැසක් රසවිඳීමට අවස්ථාවට එක් වූ දෙස් විදෙස් ජනතාවට හැකි විය. මෙහිදී අදහස් පළ කළ මධ්‍යම පළාත් සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ඉන්දික වීබැද්දගේ මහතා කියා සිටියේ මහනුවර ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් මාලිගාව, පේරාදෙණිය මල්වත්ත වැනි ස්ථාන කීපයක් නරඹා එක් දිනකින් නගරයෙන් පිටවීමේ මෙතෙක් පැවති සම්ප්‍රදාය නවතාලමින් ඔවුන් මධ්‍යම පළාතේ විශේෂයෙන් මහනුවර ප්‍රදේශයේ මැදදුම්බර ප්‍රදේශය ආශ්‍රිතව පරිසරය හා බද්ධ වූ සුවිශේෂ ක්‍රියාකාරකම් හා මුසුකොට දින කීපයක් නවතා ගැනීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය බවය. මැද දුම්බර සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දුන් පිරිසට ඇගයීම් සම්මාන ලබාදුන් අතර සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා පරිසරහිතකාමී ලෙස තිරසර සංවර්ධනය අනුව කටයුතු කිරීම සහ මැද දුම්බර සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දුන් අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා වෙත සුවිශේෂි ඇගයීම් සම්මානයක් ලබාදීම මෙහිදී සිදුවිය. දෙස් විදෙස් ජනතාව විශාල පිරිසක් සහභාගි වූ මෙම වැඩසටහනේදී මෙරට කලා ශිල්පීන් හා එක්ව තම හැකියාවන් එළිදැක්වීමේ අවස්ථාවද විදේශිකයන්ට හිමි වූහ.



































