2026 ජූලි 27 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි සැබෑ අරමුණ
මේ වන විට අගවිනිසුරුතුමාට සේවා දිගුවක් ලබාදීම ඉලක්ක කරගනිමින් ආණ්ඩුව හඳුන්වා දෙන්න යන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස, එනම් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවෙලා අවසන්.
මේක පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථා සංශෝධනයක් කියලා අපි කියන්නේ මෙහි ඇත්ත අරමුණ, මෙහි යටි අරමුණ දෙසැම්බර් මාසේ පළවෙනිදාට විශ්‍රාම ලබන්න සිටින අගවිනිසුරුතුමා තවත් වසර දෙකක් තබා ගැනීමට වීමයි. මේක ගෙන එන්නේ අගවිනිසුරුතුමාට සේවා දිගුවක් ලබාදීමේ කූට අරමුණෙන් නෙවෙයි නම්, මේ ව්‍යවස්ථා සංශෝධනය දෙසැම්බර් මාසේ පළවෙනිදාට පස්සේ ඉදිරිපත් කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝගයක් කරනවා.
ඓතිහාසික පූර්වාදර්ශ සහ නීතිමය ගැටලු
මීට පෙර 1980 දී ඡන්ද පෙත්සමකින් මන්ත්‍රී ධූරය අහිමි වෙන්න ගිය අබේරත්න පිලපිටිය කලවාන මන්ත්‍රීතුමාව තවදුරටත් පාර්ලිමේන්තුවේ තියාගන්න තුන්වන ව්‍යවස්ථා සංශෝධනය නමින් පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළාම, එවකට අගවිනිසුරු නෙවිල් සමරකෝන් මැතිතුමා මේක ජනමත විචාරණයකට යටත් කිරීමෙන් ඒ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම නවත්වා ගැනීමට සමත් වුණා.
නමුත් දැන් මේ අවස්ථාවේ අගවිනිසුරුතුමා එවැනි තීන්දුවක් ගනීවි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිලාභියා වන අගවිනිසුරුතුමා ඉදිරියටමයි මේ ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලත්වය තීරණය කරන්න අපට පෙත්සම් අරගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ අවස්ථා වලට තමයි අපේ ගැමියෝ “නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ” කියලා කිව්වේ.
තමන්ගේ නඩුවට තමන් විනිසුරු නොවිය යුතුය” යන විශ්වීය මූලධර්මය
නීතියේ තිබෙන ඉතාම වැදගත් මූලධර්මයක් තමයි තමන්ගේ නඩුවේ තමන් විනිසුරු නොවිය යුතුයි කියන එක. 1610 තරම් ඈතකදී එවකට එංගලන්තයේ අගවිනිසුරු ශ්‍රීමත් එඩ්වඩ් කෝක් අගවිනිසුරුතුමා සුප්‍රකට වෛද්‍ය බොන්හැම් නඩුවේදී (Dr. Bonham’s Case) තමයි මේ ප්‍රකාශය සිද්ධ කළේ. අද වන විට ලෝකයේ සෑම රටක්ම පිළිගන්න විශ්වීය මූලධර්මයක් බවට මේ සංකල්පය පත් වෙලා තිබෙනවා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ප්‍රතිලාභීන් වන 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුතුමන්ලා නුසුදුස්සන් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් තමන්ගේ මිත්‍රයෙක්ගේ, ඥාතියෙක්ගේ නඩුවක් තමන් ඉදිරියට ආවම තමන්ගේ අධිකරණයේම වෙනත් විනිසුරුවරයෙකුට යොමු කරනවා තමන්ට මේ නඩුව අහන්න බෑ කියලා.
විසඳුම: ජනතා අධිකරණයට යාම
දැන් මේ නඩුවේ, මේ ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිලාභියා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුතුමන්ලා. දැන් මොකද කරන්නේ? තමන්ට මේ නඩුව අහන්නත් බෑ, තම අධිකරණයට සමාන අධිකරණයකට යොමු කරන්නත් බෑ. තමන්ට අහන්නත් බැරිනම්, සමාන අධිකරණයකට යොමු කරන්නත් බැරිනම්, එහෙනම් කළ යුත්තේ ඉහළ අධිකරණයකට යොමු කිරීමයි.
ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් තවත් අධිකරණයක් තිබෙනවාද? උත්තරේ ඔව්. ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් තියෙන අධිකරණය තමයි ජනතා අධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ලංකාවේ සියලුම අධිකරණ මේ භාවිතා කරන්නේ ජනතාවගේ අධිකරණ බලය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි වගන්තියෙන් ජනතාවගේ අධිකරණ බලයයි පාර්ලිමේන්තුව හරහා අධිකරණයට ලබා දීලා තියෙන්නේ. එතකොට මේ අධිකරණ බලය ජනතාවට භාවිතා කරන්න අවස්ථාව තියෙන්නේ ජනමත විචාරණයකදී.
අර වෙනත් නඩුවකදී නීතිඥයෝ දෙකට බෙදිලා අධිකරණයේ වාද විවාද කරනවා වගේ මේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලකයෝ, අනෙකුත් පාර්ශ්ව සියලුම දෙනා මාධ්‍ය ඉදිරියේ මාසයක් විතර වාද විවාද කරනවා. ඊට පස්සේ මිලියන 17ක් වන මේ රටේ ඡන්දදායකයන් විනිසුරන් බවට පත්වෙලා ජනමත විචාරණයේදී තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. ව්‍යවස්ථා සංශෝධනයට එකඟයි නම් ලාම්පුවට කතිරේ ගහනවා, ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි නම් කලගෙඩියට කතිරේ ගහනවා. ඕකටනේ අර “ලාම්පු – කලගෙඩි සෙල්ලම” කියන්නේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්වාදර්ශ තීන්දු
ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැන දැනටමත් තීන්දුවක් දීලා හමාරයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගේ එකඟතාවය ඇතිව, විශ්‍රාමික විනිසුරු විජිත් මලල්ගොඩ විනිසුරුතුමා 2022 දී ලබාදුන් තීන්දුවකින් පැහැදිලිවම කියනවා, අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ ජනතා පරමාධිපත්‍යයේ කොටසක් කියලා.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා, ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් ඒක ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුයි කියලා.
එහෙමනම්, අගවිනිසුරු ශ්‍රීමත් එඩ්වඩ් කෝක් අගවිනිසුරුතුමාගේ මූලධර්මය අනුවත්, විජිත් මලල්ගොඩ නඩුකාරතුමාගේ තීන්දුව අනුවත් කටයුතු කරමින් ජනාධිපතිතුමා 22 වන සංශෝධනය මේ රටේ ඉහළම අධිකරණය වන ජනතා අධිකරණයට ජනමත විචාරණයකදී තීන්දු කරන්නට යොමු කරාවි, යොමු කරන්නැයි කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ආසියාවෙන් පාඩමක්
මෑත කාලයේ අපි දැක්කා දකුණු ආසියාවේ තරුණයෝ අධිකරණයට එරෙහිව නැගී සිටිනවා. ඉන්දියාවේ කැරපොතු විරෝධය මතු වුණේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකදී ඉසෙඩ් (Z) පරපුරට සරදම් කිරීමෙන් ඇති වෙච්ච කෝපය නිසයි. ඒ වගේමයි නේපාලයේ අරගලය මතු වුණේ නේපාල අධිකරණය විසින් සමාජ මාධ්‍යවලට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීමට විරෝධය පළ කරන්න. ඒ වගේම බංගලිදේශයේ අරගලය දියත් වුණේ, බංගලිදේශ අධිකරණය විසින් බංගලිදේශ නිදහස් සටනේ සිටිය අයගේ වත්මන් පරපුරට රජයේ රැකියාවල සලාකයක් යළි ස්ථාපිත කරන නඩු තීන්දුවක් ලබා දීමෙන්.
බංගලිදේශය, නේපාලය, ඉන්දියාවේ තරුණයෝ අධිකරණයට එරෙහිව නැගී සිටියත් ලංකාවේ අරගලය අවස්ථාවේ එහෙම දෙයක් වුණේ නෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න හැදුවත්, ජනාධිපති මන්දිරය ගිනි තැබුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි තියන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒ මේ රටේ අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය සහ විශ්වාසය නිසා. මේ 22 වන සංශෝධනය හරහා මේ රටේ ජනතාවගේ සිත් තුළ අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය නැති කරලා, මේ රටේ ජනතාව අධිකරණයට එරෙහිව පාරට බහින තත්ත්වයක් ඇති කරන්න එපාය කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයට බොරු චෝදනා
ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙන්නේ නීතිඥ සංගමය සභාපතිතුමාට විපක්ෂයෙන් තනතුරක් පොරොන්දු වුණු නිසාය කියලා, වැස්සට පාර්ලිමේන්තුවට ගොඩ වුණු අසිත නිරෝෂන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ වනවිට නීතිඥ සංගමය වගේම දේශපාලකයින් ගණනාවක් අසිත නිරෝෂන් මන්ත්‍රීතුමාට අභියෝග කරලා තියෙනවා “ඔබ මේ කියන්නේ ඇත්තක් නම් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ඉන්නැතුව එළියට ඇවිත් කියන්න” කියලා. මේ මොහොත වනතුරුම ඒ අභියෝගය ඉදිරියේ අසිත නිරෝෂන් මන්ත්‍රීතුමා පූස් පැටියෙක් වගේ නිහඬව ඉන්නේ තමන් කිව්වේ පට්ටපල් බොරුවක් බව තමන් හොඳටම දන්න නිසයි.
නීතිඥ සංගමය කියන්නේ ආණ්ඩුව කාගේ අතේ තිබුණත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඉතිහාසය පුරාම සටන් කරපු සංවිධානයක්; වෘත්තීය සංවිධානයක්. විශේෂයෙන්ම නීතිඥ සංගමයේ සටන්කාමී ඉතිහාසය පිළිබඳ මෙලෝ හසරක අවබෝධයක් නැතිකම නිසා තමයි අසිත නිරෝෂන් මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශයක් කරලා නීතිඥ සංගමයටත් එහි සභාපතිවරයාටත් අපහාස කරන්න කටයුතු කළේ. මේ ප්‍රකාශයට විරෝධය පළ කරන්න පක්ෂ භේද පසෙකලා මේ රටේ සිටින සියලුම නීතිඥයින් ජූලි 29 වෙනිදා පැවැත්වෙන නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමට සහභාගි වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම නීතිඥ හර්ෂණ නානායක්කාර ඇමතිතුමාත්, නීතිඥ සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිතුමාත් මේ මහා සභා රැස්වීමට පැමිණේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා; පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. මොකද ඇමතිවරුනි ඔබේ ඇමතිකම තාවකාලිකයි, නීතිඥකම සදාකාලිකයි. 2029 න් පස්සේ ඔබතුමාලට තියෙන ඔය ඇමති පට්ටම් අහිමි වෙනවා. හැබැයි මැරෙන තුරාවට ඔබේ නීතිඥ පට්ටම ඔබ ගාව තියෙනවා. ඒ නිසා 2029 න් පස්සේ කළු කෝට් ඇඳගෙන නැවත උසාවියට පැමිණීමේ බලාපොරොත්තුවක් තිබෙනවා නම්, මාලිමාවෙන් අධිකරණය බේරගන්න අපි කරන සටනට ඔබත් එකතු වෙන්නැයි කියලා හර්ෂණ නානායක්කාර ඇමතිතුමාටත්, සුනිල් වටගල ඇමතිතුමාටත් අපි ආරාධනා කරනවා.
2027 සිට ආරම්භ වන ණය ආපසු ගෙවීමේ අභියෝගය
තවත් මාස අටකින්, ඒ කියන්නේ 2027 මාර්තු මාසයේදී, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් (IMF) සමග අත්සන් කරලා තියෙන ගිවිසුම අවසන් වෙනවා. ඒ සමගම අපිට ණය ආපසු නොගෙවා සිටීමට ලැබුණු අවුරුදු හතරක සහන කාලයත් අවසන් වෙනවා. එතකොට 2027 වසරේ ඉඳන් අපට වාර්ෂිකව නැවත ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ද්විපාර්ශ්වීය ණය, බහුපාර්ශ්වීය ණය වගේම බැඳුම්කර නිකුතුව හරහා ලබාගත්ත වෙළෙඳපොළ ණයත් අපිට 2027න් පස්සේ වාර්ෂිකව ගෙවන්න සිද්ධ වෙනවා. දැනට සකස් කරලා තියෙන ඇස්තමේන්තු අනුව ඉදිරි වසර හතර තුළ අපට ඩොලර් බිලියන 11.1ක් ගෙවන්න ඕනේ. එම ණය ගෙවීම් පෙළගැසී ඇත්තේ මෙසේය:
2027 දී: ඩොලර් බිලියන 2.5
2028 දී: ඩොලර් බිලියන 2.7
2029 දී: ඩොලර් බිලියන 2.9
2030 දී: ඩොලර් බිලියන 3.0
IMF ඩොලර් සංචිත ඉලක්ක සහ වත්මන් තත්ත්වය
මෙන්න මේ ඩොලර් බිලියන 11.1 ගෙවන්න, අපිට ඩොලර් සංචිතයක් ළඟ තියෙන්න ඕනේ නිසා තමයි IMF ගිවිසුමේම අපිට ඉලක්කයක් ලබා දීලා තියෙනවා සෑම වසරකම අග වෙන විට මෙතරම් ඩොලර් සංචිතයක් ඔබ එකතු කරගෙන තිබිය යුතුය කියලා. ඒ අනුව 2026 වසර අග වෙන විට අප සතුව ඩොලර් බිලියන 10.9ක භාවිත කළ හැකි සංචිතයක් තිබිය යුතුයි.
දැනට අපි ළඟ තියෙනවා දළ විදේශ සංචිත ඩොලර් බිලියන 6.5ක්. හැබැයි මේකෙන් ඩොලර් බිලියන 1.5ක් චීනයෙන් ගත්ත හුවමාරු ණයක්, ඒක අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. එතකොට අපිට භාවිත කළ හැකි ඩොලර් සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 5ක් විතරයි. එහෙනම් මේ වසරේ අපට තියෙන ඉලක්කයෙන් භාගයක්වත් සපුරා ගන්න මේ ආණ්ඩුව මේ දක්වා අසමත් වෙලා තිබෙනවා.
පෙර පැවති සංචිත මට්ටම සහ වාහන ආනයනය පිළිබඳ තර්කය
නමුත් 2024 දී මේ ආණ්ඩුව බලයට පත් වුණු තුරුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයේ පුරෝකථනයන්වල තිබුණු ඉලක්ක ළඟා කරගන්න අපි සමත් වුණා. උදාහරණයක් වශයෙන් ගත් විට 2024 වසර අගදී අපේ තිබිය යුතුව තිබුණේ ඩොලර් සංචිත ඩොලර් බිලියන 4.7යි. හැබැයි අපි ළඟ තිබුණා ඩොලර් බිලියන 6.1යි. ඒක තමයි ආණ්ඩුව රට භාරගන්නා විට, ඒ කියන්නේ තිබිය යුතු ඩොලර් සංචිත ඉක්මවා අපි ඩොලර් සංචිත එකතු කරගෙන තිබුණා. මේ වෙනකොට තිබිය යුතු ඉලක්කයෙන් භාගයක්වත් නෑ, තිබ්බ එකත් නැති කරගන්න තත්ත්වයක් තමයි තිබෙන්නේ.
ආණ්ඩුව කියන්නේ 2025 පෙබරවාරි මාසේ වාහන ආනයනය කරන්න සිද්ධ වුණු නිසා තමයි ඩොලර් සංචිත ඉලක්කයට යන්න බැරි වුණේ කියලා. මේකත් තවත් එක් මාලිමාවේ සුපුරුදු පචයක්. ඇයි මේ පුරෝකථනයන් හදනකොටම, 2026 අග ඩොලර් බිලියන 10.1ක සංචිත තියෙන්න ඕනේ කියන පුරෝකථනය හදනකොටත්, 2025 මුලදී වාහන ආනයනය ආරම්භ කරන්න තීරණය කරලා තිබුණා. ඇත්තෙන්ම මුලින්ම සැලසුම් කරලා තිබුණේ 2025 ජනවාරි මාසේ ඉඳන් වාහන ආනයනය කරන්න. හැබැයි මේ ආණ්ඩුව ඒක පටන් ගත්තේ මාසයක් ප්‍රමාද වෙලා, පෙබරවාරි මාසේ ඉඳන්. එහෙමනම් වාහන ආනයනය කරන්න සිදුවීම නිසා ඩොලර් සංචිත ඉලක්කය ළඟා කරගන්න බැරි වුණාය කියන එක ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගන්න කියන තවත් එක් පට්ටපල් බොරුවක් විතරයි.
ඩොලරයේ අගය රුපියල් 400 ඉක්මවීමේ අවදානම
ඒ වගේම 2027 වසරේ සිට ඉදිරි වසර හතරට අපට ඩොලර් බිලියන 11.1ක් අවශ්‍ය වෙනවා ණය ගෙවන්න. අපි ළඟ සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 5යි. එහෙනම් ඉතිරි ටික වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගෙන තමයි හොයාගන්න වෙන්නේ. මේ ආපසු ණය ටික ගෙවන්න අවශ්‍ය ඩොලර් ටික හොයාගන්න මහ බැංකුවට සිද්ධ වෙනවා විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගන්න. මහ බැංකුව ඩොලර් මිලදී ගන්න, මිලදී ගන්න ඩොලරයට තියෙන වටිනාකම ඉහළ ගිහිල්ලා රුපියල තවදුරටත් පිරිහෙනවා. මෙතරම් දැවැන්ත මුදලක් වෙළෙඳපොළෙන් මිලදී ගන්න ගියොත් අනිවාර්යයෙන්ම ඩොලරයේ වටිනාකම රුපියල් 400 ඉක්මවා යෑමේ අවදානමක් තිබෙනවා. එහෙම වුණොත් දැනටමත් ජීවන වියදමෙන් මිරිකිලා ඉන්න ජනතාවගේ ජීවන බර තවදුරටත් වැඩිවෙනවා.
ඇත්තෙන්ම ආණ්ඩුව ඉන්නේ “මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී” වගේ තත්ත්වයක. ඇයි, දැන් විදේශ ණය ටික ගෙවන්න ඩොලර් නෑනේ. ඩොලර් වෙළෙඳපොළෙන් මිලදී ගන්න ගියොත් ඩොලරයේ වටිනාකම 400 පහු වෙලා, බඩු මිල ඉහළ ගිහිල්ලා, ජීවන වියදම ඉහළ ගිහිල්ලා ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා. ඒකයි කියලා ඩොලර් මිලදී ගන්නේ නැතුව හිටියොත් 2027 කෙසේ වෙතත් 2028-29 වෙනකොට ණය ආපසු ගෙවා ගැනීම කරගන්න බැරි වෙලා රට නැවතත් බංකොලොත් භාවයට පත්වෙනවා. 2027 නම් ගෙවන්න තියෙන්නේ ඩොලර් බිලියන 2.5යි නේ. ඒ නිසා තාමත් මේ තත්ත්වය පාලනය කළ හැකි තත්ත්වයක්. අපේ ඩොලර් ඉපැයීම් ඉහළ නංවලා, ඩොලර් ආනයන වියදම අඩු කරලා අපිට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. හැබැයි සෘජු තීන්දු ගන්න වෙනවා.
සූර්ය බලශක්ති ව්‍යාපෘති කඩා වැටීම සහ ඩීසල් මාෆියාවේ බලපෑම
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉඳන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දක්වා හිටිය ජනාධිපතිවරුන් හතර දෙනාම අඛණ්ඩව සූර්ය විදුලිය ප්‍රචලිත කිරීමේ සූර්ය බල සංග්‍රාමයක යෙදිලා හිටියා. හැබැයි මේ ආණ්ඩුව බලයට පැමිණිලා ඒ වැඩේ අතහැරලා දැම්මා. මොකද මේ ආණ්ඩුව ඩීසල් මාෆියාවට යටත් වුණු නිසා. ආණ්ඩුව විසින් ඒ සම්බන්ධව ගත් තීරණ කිහිපයක් පහත පරිදිය:
සූර්ය බලයෙන් නිෂ්පාදනය කරන විදුලිය ඒකකයට ලබාදෙන මිල බරපතළ ලෙස පහත දැමීම.
දිගු සති අන්තයක් ආපු ගමන් සූර්ය පැනල නිවා දමන්නැයි විදුලි නිෂ්පාදකයන්ට උපදෙස් දීම.
සූර්ය පැනල මත බදු අය කිරීම.
මෙහි ප්‍රතිඵලයක් විදිහට අර රටේ නැඟීගෙන ආපු සූර්ය බල රැල්ල කඩාගෙන වැටුණා. ඩීසල් මාෆියාවට යටත් වුණා. දැන් මෙහි ප්‍රතිඵලයක් විදිහට මොකද වුණේ, වැඩි වැඩියෙන් විදුලි නිෂ්පාදනයට ඩීසල් ආනයනය කරන්න සිද්ධ වුණා. එතකොට ඩීසල් වලට යන වියදම ඉහළ යෑමෙන් රටේ විශාල ඩොලර් තොගයක් රටින් පිටතට ගලා ගියා. ඒ විතරක් නෙවෙයි, නිසි කලට, නිසි මිලට, නිසි ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු මිලදී ගැනීමට බැරි වුණු නිසා, ගල් අඟුරු වලින් නිෂ්පාදනය කරන විදුලියත් ඩීසල් වලින්ම නිෂ්පාදනය කරන්න සිදුවීමෙනුත් ඩීසල් වලට වැය කරන ඩොලර් ප්‍රමාණය වැඩි වුණා. ඒ නිසා වර්තමානයේ ඩොලර් සංචිත කඩා වැටිලා තියෙන්නේ, රට යළි බංකොලොත් වීමේ අවදානමක් මතු වෙලා තියෙන්නේ, මාලිමාවේ දූෂණ නිසාය කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.






















