Monday, August 3, 2026
HomeNEWSමාස 14ක් තිස්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් ස්ථීර ලෙස පත් කරලා නැහැ- ඒකාබද්ධ...

මාස 14ක් තිස්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් ස්ථීර ලෙස පත් කරලා නැහැ- ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස්

අපේ රටේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳව ඉතාමත් භයානක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මාස දෙකක් තුළ බරපතල සිද්ධි දෙකක් මීගමුව හා මහර බන්ධනාගාර තුළ සිදු වුණා.
ඉතාම අරාජික තත්ත්වයක් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති වෙලා තිබෙනවා. නමුත් මේ තත්ත්වයට වගකියන්න ප්‍රධානියෙක් නැහැ.
ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය පිළිබඳව කොමසාරිස් ජෙනරාල් කෙනෙක් නැහැ. ඒ කොමසාරිස් ජෙනරාල්ට තමයි අවසාන පාලනය කිරීමේ බලය තියෙන්නේ අපේ රටේ සියලුම බන්ධනාගාර පාලනය කිරීම සඳහා. එය අතිශයින් වැදගත් තනතුර තාම හිස්. ඒක පුරවලා නෑ. අවුරුද්දකුත් මාස දෙකක් එම තනතුර හිස්ව තිබෙනවා. තවම ඒ සඳහා ස්ථිර පත්වීමක් කරලා නැහැ. එ් කියන්නේ කඳ තියෙනවා, හිස නැහැ.
මීට පෙර එම තනතුරේ හිටියේ තුෂාර උපුල්දෙණිය. එතුමාගේ වැඩ තහනම් කළා. තුෂාර උපුල්දෙණිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියට ගිහිල්ලා තර්ක කළා එතුමාව ඉවත් කිරීමට කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ කියලා. මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කළා ඒ තර්කය හරි, නියෝගයක් දුන්නා එතුමාව නැවත පත් කරන්න කියලා, ඒ තනතුර ආපහු තුෂාර උපුල්දෙණිය මැතිතුමාට ලබා දෙන්න කියලා. කවුද ඒ නියෝගය දුන්නේ? ඒ කොමිෂන් සභාවේ සභාපති තමයි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකාරතුමා එල්.ටී.බී. දෙහිදෙණිය විනිශ්යකාරතුමා.
කිසිසේත් ඒ නියෝගය ගණන් ගත්තේ නෑ. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉතාමත් අත්තනෝමතික විදිහට කිව්වා, කොමිෂන් සභාව මොනවා කිව්වත් මම ඒක කරන්නේ නෑ කියලා. ඉතින් එහෙමනම් මානව හිමිකම් කොමිෂන් සභාවක් මේ රටේ තියෙන එකේ තේරුම මොකක්ද? කිසිම තැකීමක් නැත්නම්, හිටපු අග්‍රවිනිශ්චයකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ඒ කොමිෂන් සභාවේ නියෝග කිසිසේත් ගණන් ගන්නේ නැත්නම් ඒ කොමිෂන් සභාව තියෙන එකේ ප්‍රයෝජනය මොකක්ද?
මාස 14ක් ස්ථිර පත්වීමක් නෑ. වැඩ බලන පුද්ගලයන් පත් කරනවා. එතකොට කවුද වගකියන්නේ? සම්පූර්ණ අරාජික තත්වයක් ශ්‍රී ලංකා බන්ධනාගාර තුළ තිබෙන්නේ.
අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් හතර දෙනෙක්ගේ පුරප්පාඩු පුරවන්නේ නැතුව වගේම, අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් පුරවන්නේ නැතුව මාස ගණන් ගත වෙලා තිබෙනවා. මේකත් ඒ වගේම තමයි. අත්‍යවශ්‍ය තනතුරක්, හැබැයි ඒක පුරවන්නේ නැහැ.
දැන් මේ තත්ත්වය අපි කිසිම දවසක පිළිගන්නේ නැහැ. පිළිගන්න බෑ. හැබැයි මේ විදිහට අතිශයින් අර්බුදකාරී තත්ත්වයක් තිබෙන විට, මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයිනේ, මාස දෙකක් ඇතුළත මේ අතිශයින් දරුණු සිද්ධි දෙකක්, ඉතින් එහෙනම් මේ විදිහට අසාමාන්‍ය තත්වයක තියෙද්දී පවා මේ මූලික පියවර, කාටත් පේනවා මේක අත්‍යවශ්‍ය පියවරක් කියලා, මේක නොකර කොහොමද මේ ප්‍රශ්න විසඳීමට ආරම්භයක් පවා ඇති කර ගන්නේ?
දැන් මේ බන්ධනාගාර පිළිබඳ තත්වය හිතන්න බැරි තරම් ශෝචනීයයි. අද ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ඉන්නවා රැඳවියන් 41,500ක් විතර. හැබැයි බන්ධනාගාර වල පහසුකම් තියෙන්නේ 11,000කට. එතකොට හතර ගුණයක් රැඳවියන් ඉන්නවා. ඉතින් ඒ තෙරපීම නිසාම අනිවාර්යයෙන් ප්‍රශ්න ඇති වෙනවා.
අපේ අධිකරණ පද්ධතියේ අඩිතාලම, මූලධර්මයක් හැටියට සලකන සිද්ධාන්තයක් ඒකෙන් අමු අමුවෙන්ම උල්ලංඝනය වෙනවා. අපේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැබ් වෙලා තියෙනවා නිරපරාධී භාවය පිළිබඳ පූර්ව නිගමනය. හැබැයි අද ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල හතර දෙනෙක් ඉන්නවා නම්, තුන් දෙනෙකුට විරුද්ධව කිසිම නඩු තීන්දුවක් නැහැ. ඒගොල්ලෝ වරදකරුවන් කියලා කිසිම ශ්‍රී ලංකාවේ උසාවියකින් තීන්දු කරලා නැහැ. එතකොට නීතිය අංශයෙන් නිරපරාධී. එතකොට ඒ අය තමයි බන්ධනාගාරවල ඉන්නේ.
ඉතින් එහෙනම් මේ තත්ත්වය නිරාකරණය කරන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ වෙන කිසි දෙයක් නෙමෙයි, මේක කාටහරි භාර දෙන්න. කොමසාරිස් ජෙනරාල්වරයෙක් පත් කරන්න. ඇයි නොකරන්නේ? ඇයි මානව හිමිකම් කොමිෂන් සභාවේ තීරණ මේ විදිහට තුට්ටු දෙකට දාලා ගණන් ගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ? ඉතින් මේ විදිහට මුරණ්ඩු ආකල්පය මෙතැනින්වත් නවත්වන්න කියලා අපි යෝජනා කරනවා.
දැන් විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ ප්‍රශ්නය ගැන බලමු.
2019දී හොංකොං ප්‍රාන්තයේ නීතිය වෙනස් කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය පිළිබඳව. අහම්බෙන් කළේ නැහැ, රහසිගතව හෝ කිසිම විවෘතභාවයකින්, විනිවිදභාවයකින් තොරව ඒක කළේ නැහැ. අවුරුදු දෙකක් පමණ හොංකොං ප්‍රාන්තයේ මේ පිළිබඳව ඉතාමත් පුළුල් සාකච්ඡාවක් තිබ්බා. නීතිඥ සංගමයේ අදහස් ලබා ගත්තා, ඒවට විශාල වැදගත්කමක් දුන්නා. සිවිල් සමාජයේ විද්වතුන්, විශ්වවිද්‍යාල, ඒ සියලුම පුද්ගලයන් සමඟ ගැඹුරු කතිකාවතකට යෙදීමෙන් පසුව තමයි ඒ තීරණය ගත්තේ.
අවසානයේ ගත් තීරණය තමයි ඒ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය අවුරුදු 65 සිට 70 දක්වා වැඩි කරලා යුතුකම ඉටු කළා.
ඒ කාලේ හොංකොං අග්‍රවිනිශ්චයකාරතුමා හැටියට හිටියේ ජෙෆ්රි මා (Geoffrey Ma) අග්‍රවිනිශ්චයකාරතුමා. එතුමා බොහොම වැදගත් තීරණයක් ගත්තා. ඒ තීරණය අරන් ඒක ප්‍රකාශයට පත් කළා. එතුමා කිව්වා:
“මම මේ අග්‍රවිනිශ්චයකාර ධුරය පිළිගන්න අවස්ථාවේදී, ඒක මම කළේ යම්කිසි පදනමක් ඇතිවයි, අපේ පදනම තමයි අවුරුදු 65දී මම විශ්‍රාම ගන්නවා කියන එක. අන්න ඒ පදනම මත තමයි මම ඒ විනිශ්චය ආසනයේ වාඩි වුණේ. මුළු රටේම නීතිඥයන්, රටේ සමාජය තුළ තිබිච්ච විශ්වාසය තමයි මම 65දී විශ්‍රාම ගන්නවා කියන එක. දැන් මේ නීතිය මේ විදිහට අනපේක්ෂිත පරිදි වෙනස් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මට පුළුවන් තව අවුරුදු පහක් මේ තනතුරේ රැඳී සිටින්න. හැබැයි මම ස්වේච්ඡාවෙන්, මගේම කැමැත්ත පරිදි මම තීරණය කරනවා මම ඉස්සෙල්ලා සියලු දෙනාම විශ්වාස කළ පරිදි මම අවුරුදු 65දී විශ්‍රාම ගන්නවා කියලා.” එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ වගේම එතුමා තවදුරටත් කිව්වා,
“මේ අලුත් නීතියෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අනාගතයේ පත්වන විනිශ්චයකාරවරුන්ට. හැබැයි මගේ පත්වීම සිදුවුණේ ඊට ගොඩක් ඉස්සෙල්ලා. වෙන නීති රාමුවක් තුළ. එම නිසා මේකේ වාසිය මම ලබා ගැනීම මගේ හෘද සාක්ෂියට සාධාරණ නැහැ, යුක්තිසහගත වන්නේ නැහැ. එම නිසා මම ඉස්සෙල්ලා තිබිච්ච නීතිය පරිදි මම 65න් විශ්‍රාම ගන්නවා.” කියලා එතුමා කිව්වා. එතුමා මේකෙන් ප්‍රයෝජන ගත්තේ නෑ.
ඒ විතරක් නෙමෙයි, තව ඉතාමත් වැදගත් ප්‍රකාශයක්, අපි සියලු දෙනාටම, සම්පූර්ණ පොදුරාජ්‍ය මණ්ඩලයටම ඒක ආදර්ශමත් ප්‍රකාශයක් හැටියට සලකන්න පුළුවන්. එතුමා ඒ විනිශ්චය ආසනයෙන් ඉවත්ව යෑමේදී මෙන්න මේ ඉතාමත් වැදගත් ප්‍රකාශය කළා. මෙන්න මේකයි එතුමා කරපු ප්‍රකාශය:
“Proper succession planning is of vital importance. My retirement will be conducive to orderly succession planning in the Judiciary.”
— Hong Kong Chief Justice, Geoffrey Ma
එතුමා මොකක්ද කිව්වේ? “අධිකරණ ධුර අනුපිළිවෙල ගැන ක්‍රමානුකූල සැලැස්මක් තිබීම අතිශයින් වැදගත්. මම මෙම අවස්ථාවේදී විශ්‍රාම ගැනීම එම සැකසුම අධිකරණය තුළ පිළියෙල කිරීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.”
එතකොට බොහොම පැහැදිලි හේතුවක් තියෙනවා මම මේ ගන්න තීරණයට. මේකෙන් හොඳක් වෙනවා, සමස්ත අධිකරණ පද්ධතියට හොඳක් වෙනවා. ඒ නිසා තමයි මගේ වාසිය, මට ලැබෙන ප්‍රයෝජනය ගැන මම හිතන්නේ නැතුව අධිකරණ ක්ෂේත්‍රයට, රටට, සමාජයට හොඳක් වෙන තීරණය මම ගන්නේ කියලා පැකිලීමෙන් තොරව ජෙෆ්රි මා අග්‍රවිනිශ්චයකාරතුමා ප්‍රකාශ කළේ. එහෙම ප්‍රකාශ කරලා එතුමා කිව්වා “මම මේක දැන් මගේ අනුප්‍රාප්තිකයන්ට භාර දීලා මම ගෞරවාන්විතව සමුගන්නවා” කියලා.
අධිකරණයේ ස්වාධීනත්වය හා නිර්මල භාවය පිළිබඳ අප සියලු දෙනා දිරිමත් කරන පූර්වාදර්ශයක් තමයි මේ.
දැන් තවත් වැදගත් කාරණයක් තමයි ශ්‍රී ලංකා නීතියේ පමණක් නෙමෙයි, ඕනෑම ශිෂ්ට සමාජයක නීතියේ ගැබ් වෙලා තියෙන ප්‍රධාන මූලධර්මයක් තියෙනවා. ඒක තමයි නීති සම්පාදනය කරන්න බෑ කියලා යම්කිසි විශේෂ අවස්ථාවක් හෝ විශේෂ පුද්ගලයෙකු ඉලක්ක කරගෙන.
ශ්‍රී ලංකාවේ උත්තරීතර ඉහළම අධිකරණය හැටියට රාජාධිකරණය ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවේදී, රජයට එරෙහි ලියනගේ කියන ප්‍රසිද්ධ නඩුවේදී, ඒ කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයට එරෙහිව කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරපු අවස්ථාවේදී, රාජාධිකරණය ඒ මූලධර්මය ශ්‍රී ලංකා නීතිය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් ආකාරයට යෙදෙව්වා — පුද්ගලයන් ඉලක්ක කරගෙන නීති සම්පාදනය කරන්න බෑ. එසේ කරනවා නම් ඒ නීතිවල ගැබ් වෙලා තිබෙන සහජ මූලික දෝෂයක්. නොවැදගත් වන දෝෂයක් නෙමෙයි, කේන්ද්‍රීය දෝෂයක්, එම නිසා එවන් නීති අනිවාර්යයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා රාජාධිකරණය තීරණය කළා.
ඉතින් සියලුම රටවල් වල, ශිෂ්ට සමාජයන්හි නීති පද්ධතියේ අන්තර්ගත ඉතාමත් වැදගත් මූලධර්මයක් ඒක.
දැන් බලන්න, අවුරුද්දකට ඉස්සෙල්ලා මෘදු ප්‍රණාන්දු හිටපු අග්‍රවිනිශ්චයකාරතුමිය විශ්‍රාම ගත්තා. මේ අවුරුද්දේ ගෙවිච්ච මාස 6 තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් විශ්‍රාම ගියා. ඒ කියන්නේ පත්වීමක් භාර ගත්තා, තමන්ගේ හෘද සාක්ෂිය හා රටේ නීතිය අනුව ඒ අධිකරණ කාර්යභාරය ඉෂ්ට කළා, කාලයාගේ ඇවැමෙන් විශ්‍රාම ගන්න කාලය ආපුවහාම ඒ අධිකරණ තනතුරෙන් ඉවත් වෙලා ගෙදර ගියා. ඒක තමයි ස්වාභාවික ක්‍රියාවලිය.
දැන් ඒකෙන් බැහැර වෙනවා නම් යම්කිසි අවස්ථාවකදී පටු අරමුණක් සඳහා, ඒකෙන් ඉතාමත් බරපතල ප්‍රතිඵල අනිවාර්යයෙන් ජනිත වෙනවා.
දැන් අපි මුල ඉඳන්ම කිව්වා, තමන්ගේ නඩුව තමන්ම ඇසීම ස්වාභාවික යුක්තියට සම්පූර්ණයෙන්ම පටහැනියි කියලා. ඒක කොහොමටවත් කරන්න බැහැ. ශිෂ්ටාචාරය ආරම්භයේ සිට අද දක්වා අඛණ්ඩව පිළිගත් මූලධර්මයක් ඒක. තමන්ගේ නඩුව තමන්ට අහන්න බෑ. එහෙම තීරණයක් දුන්නොත් කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. එහෙම එකක් සාධාරණ තීරණයක් හැටියට පෙනෙන්නේ නැහැ මතුපිටින් බලද්දී.
අපේ නීතියේ බොහොම පැහැදිලිව කියනවා තමන්ට අදාළ දෙයක් සම්බන්ධයෙන් තමන් සහභාගී වෙනවා නම්, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා නම්, ඒක නීති විරෝධී වැඩක්, ඒක කරන්න එපා, ඒක නොකළ යුතුයි කියලා. ඒ නීතිය සැලකිල්ලට භාජනය කරන්නේ නැතුව, ඒ කියන්නේ නීතියට පටහැනිව යෙදෙන්න යනවා නම්, බොහොම බරපතල දඬුවමකට යටත් වෙනවා. ඒ බරපතල දඬුවම තමයි අවුරුදු හතක බරපතල වැඩ සහිත බන්ධනාගාරගත කිරීමක් හෝ දශ ලක්ෂයකට නොවැඩි දඩයකට යටත් වීම.
අද රටේ ක්‍රියාත්මක වන නීතියේ 162 වැනි වගන්තියේ තියෙනවා “රජයේ සේවකයා” කියන්නේ කවුද කියලා පැහැදිලි කරලා තියෙනවා (රජයේ සේවකයා පිළිබඳ නිර්වචනය). ඒකේ කෙළින්ම සඳහන් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පිළිබඳ. එතකොට කිසිම සැකයකින් තොරව මේ නීතිය බලපානවා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට.
එතකොට මේ නීතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට වාසියක් ලැබෙන කාරණයක් සම්බන්ධයෙන් ඒ අය තීරණයක් ගන්නවා නම්, ඒක මේ නීතියට පටහැනියි. මේ නීතියේ සඳහන් වන ඉතාමත් බරපතල දඬුවමකට යටත් වෙනවා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයට බලපානවාද නැද්ද කියන එක පිළිබඳ කිසිම සැකයක් නැහැ, මොකද කෙළින්ම සඳහන් වෙනවා 162 වන වගන්තියේ රජයේ සේවකයා කියන එකට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් ඇතුළත් වෙනවා.
ඉතින් මේ නිසා තමයි අපි කියන්නේ මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට අහලා ඒ පිළිබඳ අවසාන තීරණයකට එන්න බෑ. මෙය අනිවාර්යයනේම ජනතා අධිකරණයට ඉදිරිපත් කළ යුතුමයි.
මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා
ලංකාවේ නීතිය අනුව ඇත්තටම ලංකාවේ තියෙන්නේ, වරදකට ඇප දීම තමයි නෝම් (norm) එක. නෝම් එක කියන්නේ සාමාන්‍ය නීතිය තමයි ඇප දිය යුතුයි. එතකොට විශේෂත්වය තමයි ඇප නොදීම.
නමුත් අපේ අධිකරණවල දැන් යන ක්‍රියාමාර්ගය තමයි සාමාන්‍යකරණය මොකක්ද? ඇප නොදීම. විශේෂත්වය තමයි, ඒ කියන්නේ exception එක තමයි ඇප දීම. එතකොට මේකෙන් වෙලා තියෙන්නේ මොකද්ද?, මේ පහුගිය කාලපරිච්ඡේදය තුළ බන්ධනාගාර පිරී ඉතිරිලා තිබෙනවා.
දෙවැනි එක, මේ බන්ධනාගාර පිරී ඉතිරීමට ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, මෙතන විශාල සංඛ්‍යාවක් ඉන්නවා, ඇත්තටම 18,500ක් විතර ඉන්නේ ඇත්තටම මේ මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිකරුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි රසපරීක්ෂක දෙපාර්තමේන්තුව. රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා නොලැබීම තුළ ඔවුන්ට දිගින් දිගටම ඇප ලැබීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කරුණු නිසා එතැන ප්‍රමාදයක් ඇති වෙනවා.
එතන ඇත්තටම පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ පුරප්පාඩු සංඛ්‍යාව නිසා රසපරීක්ෂක වාර්තා පැමිණෙන්නේ නැහැ.
මේ තදබදය නැති කරගන්න නම්, ඇත්තටම රජය පැහැදිලි ප්‍රතිපත්තියකට එන්න ඕනේ. එකක් තමයි, මේ ඇප ලබා දීම පිළිබඳව තිබෙන දැඩි ප්‍රතිපත්තිය ඉවත් කිරීම. දෙවැනි එක තමයි, රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම. නැතුව අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ පුරප්පාඩු තියාගෙන, ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කරයි කියලා මේ නඩු ටික ඉවර වෙන්නේ නැහැ.
දැනටම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරයි, එතකොට අභියාචනාධිකරණයේ හතරයි, තව ටික දවසක් යනකොට පහක් වෙනවා. එතකොට පහළ උසාවිවල විශාල සංඛ්‍යාවක් තියෙනවා පුරප්පාඩු. මේ තත්ත්වය අනුව, මේ උසාවි දෙකක විතරක් විනිශ්චයකාරවරුන්ගේ සේවා දිගුවක් දුන්නයි කියලා මේකට කිසිම විදියකින් උත්තර ලැබනේනේ නැහැ. මේක හරියට අතිසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.
ලක්ෂ ගාණක් නඩු හිරවෙලා ප්‍රාථමික උසාවිවල. නැතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ නෙවෙයි. එතන ලක්ෂ ගාණක් තියෙන නඩු ටික බේරගන්නේ නැතුව කොහොමද මෙතන 6,500ක තියෙන නඩු ටිකක් ක්ලියර් කරනවා කියන්නේ?
විශාල ප්‍රශ්නයක් මේ බන්ධනාගාර ප්‍රශ්නය. මොකද දැන් එක බන්ධනාගාරයක් ඇවුලුණාම, මාසයක් යනකොට තව බන්ධනාගාරයකට මේක යනවා. මේක ඇතුලේ සිවිල් තත්ත්වයක් එනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මානුෂික අයිතියක්වත් නැහැ බන්ධනාගාර තුළ. මමත් බන්ධනාගාරය තුළ හිටිය පුද්ගලයෙක් වශයෙන් මං ඇහෙන් දැක්ක දෙයක් තමයි, ඒකේ ඇත්තටම සැමන් ටින් එකේ සැමන් පැක් කරලා වගේ තමයි ඒ තරුණයින් ඉන්නේ. ඒගොල්ලන්ට හැරෙන්නවත් බැහැ රෑට නිදාගත්තාම. ඒ නිදාගත්තේ එක පැත්තකට හැරුණා නම් ඒ පැත්තට හැරිලා තමයි නිදාගන්න පුළුවන් උදේ වෙනකම්.
එතකොට වැසිකිළි පද්ධතිය උදේට විශාලම අර්බුදයක්. තියෙන වැසිකිළි ප්‍රමාණයෙන් කිසිසේත්ම කිට්ටු කරන්නවත් බැහැ අවශ්‍යතාවයට. අනෙක් එක මේ බොහෝ අයව අඬගහගෙන යනවා, එතකොට 8:30, 9:00 වෙනකොට යන්නත් ඕනේ උසාවිවලට බොහෝ දෙනෙක්. එතකොට මේ තත්ත්වය යටතේ විශාලම අමානුෂික තත්ත්වයක මේ රැඳවියන් ඉන්නේ. එතකොට මේ අමානුෂික තත්ත්වයේ තියෙන ප්‍රතිඵලය මොකක්ද? මේක පිපිරෙනවා. මේක පිපිරිලා කැරලිකාරී තත්ත්වයකට මේක පත් වෙනවා. මේක දැන් එකෙන් පටන් ගත්තා, දෙකක් ගියා, තව කීයකට යාවිද දන්නේ නැහැ.
එතකොට ඒකට විසඳුම තියෙන්නේ මොකක්ද? STF දානවා, අරවා දානවා, රැඳවියන්ට විරුද්ධව ප්‍රතික්‍රියාවන් කරනවා. ඒක කරන්න සිදු වෙනවා, නමුත් ඒක කරන්න සිදු වෙන්නේ මේ රාජ්‍ය තන්ත්‍රයේ තියෙන වැරැද්ද නිසා.
දැන් මේ බන්ධනාගාර තත්ත්වය බැලුවොත්, එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඇඹිලිපිටියේ නව බන්ධනාගාරය නිර්මාණය කළා. එතනින් ඇත්තටම විශාල පහසුකමක් ඇති වුණා රැඳවියන්ට, තංගල්ලේ තිබුණ බන්ධනාගාරය වහලා ඒ බන්ධනාගාරය ඇඟුනුකොලපැලැස්සට ගෙන ගියා.
මේ රජය ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා, කිසිම විසඳුමක් තබා සැලසුමක්වත් නැහැ. එහෙම බන්ධනාගාර පද්ධතිය පුළුල් කරලා මේ රැඳවියන්ට පහසුකම් ලබා දෙනවයි කියන එක ගැන කිසිම හාංකවිසියක් නැහැ. හැබැයි මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව පොරොන්දු වුණා මේක කරනවයි කියලා. අද වෙනතුරු කිසිම තීන්දුවක් අරගෙන නැහැ.
අද කැබිනට් එකේ තීන්දු ගන්නේ එදා පොරොන්දු වුණ ඒවා නෙවෙයි, පොරොන්දු නොවෙච්ච ඒවා. පොරොන්දු ක්‍රියාත්මක කිරීමට කැබිනට් තීන්දු ලැබෙන්නේ නැහැ. අද වෙනතුරු එදා ලියපු මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ බොහෝ කරුණු පිළිබඳව කිසිදු කැබිනට් තීන්දුවක් අරගෙන නැහැ.
මෙන්න මේ තත්ත්වය යටතේ රජයට අවශ්‍යයි එක පැත්තකින් මේ රැඳවියන් තද කරලා තියාගන්න, අනෙක් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ දීර්ඝ කිරීම් තුළ අධිකරණ පද්ධතිය බාරගන්නට. මොකද මෙතන ඉන්න කට්ටිය කියනවනේ, “රාජ්‍ය දිනාගන්න” කියලා. රාජ්‍ය දිනාගන්නවා කියන්නේ, මේක තනිකර වැරදි අර්ථකථනයක්නේ. ආණ්ඩුව තියෙනවා, රාජ්‍ය දිනාගන්න. ආණ්ඩුව තියෙන එක රාජ්‍ය දිනාගන්න මේවා කරගත්තේ, ඒ විශාල විප්ලවීය අවස්ථාවල.
ඒ පොරොන්දු පත්‍රයේ තියෙනවා රාජ්‍ය දිනාගැනීම කියන්නේ මොකක්ද? දැන් ධනපති වැඩවසම් රාජ්‍යය තිබුණ සෝවියට් රුසියාවේ සමාජවාදී ආණ්ඩුවක් පිහිටෙව්වාම, ඒ වැඩවසම් රාජ්‍යය සමාජවාදී රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම තමයි රාජ්‍ය වෙනස් කරනවා කියන්නේ. චීනයේ, මහජන චීනයේ ගොවි විප්ලවයකින්, මූලිකවම ගොවි විප්ලවයකින් ඒ චීන විප්ලවය සිදුවීම තුළ ඔවුන්ට සිදු වුණා එදා තිබුණ ඒ ජපන් අධිරාජ්‍යවාදය යටතේ තිබුණ වහල් රාජ්‍යයෙන් මුදවාගෙන චීන ජනතාව නව රාජ්‍ය පද්ධතියකට, සමාජවාදී රාජ්‍ය පද්ධතියකට ගේන්න.
මෙහෙ කොහොමද ඒක අර්ථ දක්වන්නේ? මෙතන ඉඳලා කියුබාවේද, ලෝකයේ තියෙන ඕනාම රටක මාක්ස්වාදී ආණ්ඩුවක් පිහිටුවපු තැනක මම පැහැදිලිව පෙන්වලා දෙන්නම්, රාජ්‍ය වෙනස් කරනවා කියන්නේ ඒ විප්ලවීය වෙනස කරන්න.
නමුත් ක්‍රමය කිසිම දෙයක් වෙනස් නොකර, ඒ තියෙන ධනපති ක්‍රමයම තියාගෙන, ඒ තියෙන ධනපති ක්‍රමය මඟින් IMF එක කියන ජාත්‍යන්තරයේ ධනපති ක්‍රමයේ ගෙන යාමට තියෙන ලෝක දේවස්ථානය වන IMF එකට වැඳපුදාගෙන, ඔවුන්ගේ සියලු ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින්. දැන් ඊයේ පෙරේදා ලසාර්ඩ් (Lazard) කොම්පැණියත් එක්ක අත්සන් කළා. එදා ලසාර්ඩ් කොම්පැණියත් එක්ක අත්සන් කරාම, එදා ආර්ථික අර්බුදය වෙලාවේ ඒකට බැන්න කට්ටියම දැන් ලසාර්ඩ් එකට කියනවා, “IMF එක දැන් යනවා, ඒක හින්දා අනේ අපිට උදව් කරන්න අපේ ආර්ථිකය ගෙනියන්න” කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට ගෙනියන්න බැහැ. IMF එකේ උදව් උපකාර උඩ දැන් ගෙනිච්චා, දැන් ඒගොල්ලෝ මාර්තු වල යනවා, අනේ ලසාර්ඩ් එක ඇවිල්ලා දැන් මෙතන ඉඳලා අපේ ආර්ථිකය කරන්නේ කොහොමද කියලා උගන්වන්න කියනවා. මොකද ආණ්ඩුව ඇතුලේ එක්කෙනෙක් නැහැ ඒක කරන්න. මේකනේ තත්ත්වය.
සමාජවාදී රාජ්‍යයක මූලිකම පද්ධතිය තමයි ආර්ථිකය. ආර්ථිකය තමයි ලෙනින් වෙනස් කළේ, මාඕ වෙනස් කළේ, කැස්ත්‍රෝ වෙනස් කළේ, ඔර්ටේගාලා වෙනස් කළේ, ලතින් ඇමෙරිකාවේ… බලය තියෙන පාර්ලිමේන්තුවෙන් ඉවත් කරලා පැලවත්ත අරගැනීම වෙන්නේ නැතිව, ඒගොල්ලෝ හිතනවා ඇති රාජ්‍යය කියලා. එහෙම නැත්නම් ධනපති ක්‍රමයේ සිට කොයි ක්‍රමයට යන්නද මේ රාජ්‍යය අවශ්‍ය? රාජ්‍යයක් වෙනස් වෙන්නේ ක්‍රමයක් වෙනස් කරන්න. එතකොට මේ දැන් තියෙන ධනපති ක්‍රමයේ සිට මේ රාජ්‍ය වෙනස් කරනවා කියන්නේ මොකක්ද ක්‍රමය? සමාජවාදයට යනවා නම් සමාජවාදී ආර්ථික වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව දැන් පෙන්වලා තියෙන්න ඕනේ. එහෙම එක කෑල්ලක්වත් නැහැ. සමාජවාදී ආර්ථිකයක කෑල්ලක්වත් මේ ආර්ථික වැඩපිළිවෙලේ නැහැ,
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනාපු අස්වැසුම වගේවත් අලුත් සුභසාධනයක්වත් දීලා නැහැ. එතකොට සමහරු හිතන්න පුළුවන් අපිට නම් ප්‍රශ්නයක් නැහැ, අපි ආණ්ඩුවත් එක්කනේ. අපි ආණ්ඩුවත් එක්ක, අපි ආණ්ඩුවේ ප්‍රචාරක වැඩපිළිවෙල කරනවා, අපි ආණ්ඩුවට සපෝට් කරනවා, අපි ආණ්ඩුව වෙනුවෙන් කතා කරනවා.
මං ඒගොල්ලන්ට කියනවා පීටර් නියමොලර්ගෙන් (Martin Niemöller) ඉගෙනගන්න කියලා. හිට්ලර් ඇවිල්ලා බලයට පත්වුණේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට. මතක තියාගන්න, එයා ඉදිරිපත් කරා මතවාදයක් ජාතික සමාජවාදය (National Socialism) කියන එක. හරිද? ඒ ජාතික සමාජවාදී වැඩපිළිවෙල තමයි එයා ගෙනාවේ. ගෙනැල්ලා ඒකට ඇත්තටම විශාල ජනප්‍රසාදයක් ලබලා ඔවුන් මැතිවරණය ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කරලා තමයි මේ ජාතියේම වැඩපිළිවෙලක් කරේ.
එතකොට මේ වැඩපිළිවෙල යනකොට හිට්ලර්ගේ හැමෝම විසිල් ගගහා අප්පුඩි ගැහුවා. ඒ ජාතිවාදී වැඩපිළිවෙල එයා දේශනා කරන හැම රැස්වීමකම ලක්ෂ ගාණක් ජර්මන්වරු අප්පුඩි ගැහුවා. විසිල් ගැහුවා, හිට්ලර්ට මේ ගමන යන්න කියලා. නමුත් අනේ ඒ අප්පුඩි ගහපු කට්ටිය කීයක් ඉතුරු වුණාද අන්තිමට? විසිල් ගහපු කට්ටිය කීයක් ඉතුරු වුණාද? එයා වෙනුවෙන් ලියපු කට්ටිය කීයක් ඉතුරු වුණාද අන්තිමට? අන්තිමට හිට්ලර්ගෙන්ම මැරුම් කෑවා. හිට්ලර්ගෙන් පළවෙනියෙන්ම මැරුම් කෑවේ හිට්ලර්ගේ ප්‍රතිවාදියෙක් නෙවෙයි. කවුද? ඒ ඒකාධිපතිත්වය පැමිණිහාම ඒකට බලපෑම් කරපු වෘත්තීය සමිති නායකයා, හිට්ලර්ට බලයට එන්න අතදීපු ජර්මන් වෘත්තීය සමිති නායකයා. එයාව ගෙනැල්ලා බර්ලින්වල එල්ලුවා ප්‍රසිද්ධියේ, අනෙක් එවුන්ටත් දැනගන්න. “මෙන්න මෙයාට මෙහෙමයි, ඉතිරි එවුනුත් එහෙම මේකට ආවොත් මෙන්න මෙහෙමයි” කියලා. එතනින් වැඩ පටන් ගත්තා එයා. වැඩ පටන් අරගෙන මොකද කරේ? අන්තිමට එක මිනිහෙෙකුටවත් බේරෙන්න බැරි වුණා.
ඉතින් ඒ නිසා මේ යන ගමන අපිට හොඳට පේනවා. මේ යන ගමන ගැන එක එක්කෙනාගේ කටින් පිටවෙන වචන ගැන හොඳට තේරෙනවා. ඒ නිසා මේ රට චීනයක් ගැන සිහින දකිමින් එනවා. චීනයටත් ඒ ක්‍රමය ගෙනියන්න අවුරුදු 30ක් විතර වුණා මාඕ සහෝදරයාට, රාජ්‍ය වෙනස් කිරීමට. ඉතින් මං දන්නේ නැහැ මේගොල්ලෝ අවුරුදු 30ක, අර මහවැළිය අවුරුදු 30යේ මහවැළිය අවුරුදු 6න් හැරෙව්වා වගේ කෙටි කාලයකින්, ඊටත් වඩා මාඕටත් වඩා හොඳ වැඩපිළිවෙලක් තියෙනවාද කියලා. මොකද ඔය ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් මාත් එක්ක කතා කරා චීන වැඩපිළිවෙල ගැන. මං ඇහුවා “අවුරුදු කීයක් ගියාද සහෝදරයා?” එතකොට මගේ මූණ දිහා බලන් ඉන්නවා. මං කිව්වා “30ක් ගියා මතක තියාගන්න, රාජ්‍යය වෙනස් කරන්න. හොඳ පක්ෂයට, පක්ෂයට චීනයේ බලය ගන්න අවුරුදු 30ක් ගියා.” එතකොට මං ඇහුවා “ඔයා, ඒ අවුරුදු 30 යනකොට ඔයත් නැහැ, මාත් නැහැ. එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණ තියේද එදාට? දැන් විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ තියෙනවාද? නැහැනේ? එතකොට එදාට තියෙන ජනතා විමුක්ති පෙරමුණ මොකක්ද?” මං කිව්වා “මේවා කෙරෙන වැඩ නෙවෙයි.”
මාක්ස් කිව්වේ සමාජවාදය ආරම්භ වෙන්නේ ජර්මනියෙන් කියලා. ඇයි බැරි වුණේ? ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා. බහුපාක්ෂික ඡන්ද ක්‍රමය තිබුණා. ඒක හින්දා හැම තැනකම එක්කෝ රාජාණ්ඩුවක්, එක්කෝ ඒකාධිපති ආණ්ඩුවක් තිබුණ තැනක තමයි මේ සමාජවාදී කොමියුනිස්ට් ආණ්ඩුවක් හැදුවේ. ඒ නිසා මේ රටේ ඒවා කරන්න හම්බවෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා ජනතාවට, විශාල අවබෝධයකින් ඉන්න. මේ යන ගමන ගැනයි, මේ එන පනත් ගැනයි, මේවා එකින් එක ගන්න එපා. සියල්ල එක සමූහයක් විදියට අරගෙන මේ ගැන දැනගෙන මේ අනුව සියලු දෙනා ක්‍රියා කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා.
හිටපු අමාත්‍ය සුරේන් රාඝවන්, හිටපු පා.ම. ප්‍රේම්නාත් සී. දොළවත්ත, නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ශිරාස් යුනූස් යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

2026 අගෝස්තු 03

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසමින් මහානාහිමිවරුන් ජනපතිට ලිපියක් යවා තිබෙනවා – නීතිඥ සංගමයේ සභාපති

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ...

යෝෂිතට සහ හිටපු නාවික හමුදාපතිට අධි චෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි.

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි මේ රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි වත්මන් රජයට හිරගෙදරක්වත් පාලනය කර ගන්න නොහැකි...

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක්-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවෙයි. නැණ ඉසුර ශිෂ්‍යත්වය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපනය සෑම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img