ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් (10) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස්
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වෙනි සංශෝධනය ගැසට් කරලා තියෙනවා. අපි දිවි හිමියෙන් ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූල රාමුවක් තුළ එම සංශෝධනය පරාජය කිරීමට කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා.
ඒකට හේතුව තමයි මෙය අතිශයින් භයානක සංශෝධනයක්. එහි ප්‍රතිවිපාක තක්සේරු කරන්න බැරි තරම් උග්‍රයි.
මේ රටේ මානව හිමිකම්, විපක්ෂයේ නීත්‍යානුකූල කාර්යභාරය බාධාවකින් තොරව කරගෙන යාමට ඇති හැකියාව, අවසානයේ ජනාධිපති ධූර කාලය දීර්ඝ කිරීම, පාර්ලිමේන්තුවේ ධූර කාලය දීර්ඝ කිරම වැනි මේ සියල්ලක් සම්බන්ධයෙන් බොහොම පැහැදිලි අවදානමක් ඉස්මතු වෙනවා මේ සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළ.
මෙය විනිශ්චයකාරවරුන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමට සීමා වුණු සංශෝධනයක් නෙමෙයි, එයින් හුඟක් ඔබ්බට ගොස් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය, අපි සියලු දෙනා චිරාත් කාලයක් ආරක්ෂා කරගත් ආයතනවලට සෘජුවම පහරක් එල්ල වෙනවා මේ සංශෝධනය තුළින්.
අපිට පසුගිය සතියේ පුළුවන් වුණා මල්වත්තේ සහ අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන්න. උන්වහන්සේලා අපිට ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළා ගරු ජනාධිපතිතුමාට සන්දේශයක් යැව්ව බව.
නමුත් මහානායක ස්වාමීන් වහන්සේලාගේ ලිපිය ලැබුණු බවවත් තවම දන්වලා නැහැ. ඒ සඳහා කිසිම ප්‍රතිචාරයක් නැහැ. සම්පූර්ණ නිහඬතාවයක්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ සඳහන් වෙනවා බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දෙනවායි කියලා. ඉතින් ඒක කොළ කෑල්ලකට සීමා කරන්න බැහැ. මෙහෙමද සලකන්නේ මල්වතු, අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලාට?
ඒ සාකච්ඡාවෙන් පස්සේ අපේ සිතේ කිසිම සැකයක්, දෙගිඩියාවක් තිබුණේ නැහැ. මහානායක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරපු මතය තමයි ඒක කරන්න එපා, ඒ සඳහා තම අසතුට ප්‍රකාශ කළ බව අපිට බොහොම පැහැදිලිව ඒත්තු ගැන්නුවා ඒ සාකච්ඡාවේදී.
මේ තොරතුරු ලබාගන්න, තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කිරීමට මේ රටේ ජනතාවට සිදුවෙලා තිබෙනවා. ඇයි මේක හංගන්නේ? කෝ විනිවිදභාවය? මහානායක ස්වාමීන් වහන්සේලා ලිපියක් යවලා තියෙනවා නම් ඒ පිළිබඳ ඒකෙ අන්තර්ගතය ගැන තොරතුරු ජනතාවට හෙළිදරව් කළ යුතුයි. ඇයි ඒක නොකරන්නේ? මොකක්ද තිබෙන ප්‍රශ්නය?
ඒ වගේම මේ රටේ නීතිඥයන් 26,000ක් නිල වශයෙන් නියෝජනය කරන නීතිඥ සංගමය අධිකරණ ඇමතිවරයා හරහා ඉල්ලලා තිබෙනවා අවස්ථාවක් ජනාධිපතිතුමා හමුවීමට. හමුවෙලා නීතිඥ සංගමයේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට, නමුත් මේ වනතුරු ඒකට අවස්ථාව ලැබිලා නැහැ.
ඒ විතරක් නෙමෙයි, නීතිඥ සංගමය ඉල්ලලා තිබුණා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා හමුවීමටත්. ඒ අවස්ථාව ලැබුණේ කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳ තීරණයක් ගැනීමෙන් පසුවයි.
ඒ කියන්නේ මොවුන් සංවාදයකට කැමති නැහැ. කිසිම කතිකාවතක් සමාජයේ ඇති කිරීමට කැමති නැහැ. තමන්ට ඕන දේ හිතුමනාපෙට රහසිගතව, කිසිම විවාදයකින් තොරව ලහි ලහියේ කිරීම තමයි රජයේ දැඩි අධිෂ්ටානය වෙලා තියෙන්නේ. මොකක්ද ඒකට හේතුව? ඇයි බය?
රජය හොඳහැටි දන්නවා මේ ඉදිරිපත් කරන සාධක කිසිම වලංගුභාවයකින් තොර සාධක කියලා. මොකක්ද රජයේ මූලික තර්කය? ඇයි මේක කරන්නේ? ආණ්ඩුව කියන්නේ මේක කරන්නේ මේ ගොඩගැහිලා තියෙන නඩු ඉක්මනට විභාග කරලා අවසන් කරන්න කියලා.
මේ හේතුව සම්පූර්ණ අසත්‍ය හේතුවක්.
මේකෙන් කොහොමද ගොඩගැහිලා තියෙන නඩු අහලා ඉක්මනට ඉවර කරන්නේ? කිසිසේත් මේකෙන් ප්‍රයෝජනයක් නැහැ.
ඒ විතරක් නෙමෙයි, ඒ නඩු අහන පිළිවෙළ, සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති වෙනස් කරන්න ඕනේ. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ පමණක් නෙමෙයි, අනිත් උසාවි හැම එකේම කෙරෙන හුඟක් වැඩකටයුතු පරිපාලන මට්ටමෙන් කරන්න පුළුවන්නේ, උසාවියේ කාලය ඉතිරි කරගන්නත් පුළුවන්නේ.
නඩු ඉක්මනට අහන්න මේ දැන් ඉන්න විනිශ්චයකාරවරුන්ට තව අවුරුදු දෙකක් දීලා මොකක්ද ප්‍රයෝජනය? ඒ විනිශ්චයකාරවරයාට අවුරුදු දෙකක් දුන්නහාම දැන් කරන වැඩ ප්‍රමාණයට වඩා දෙගුණයක් කරනවාද? ඒක සම්පූර්ණයෙන් ශූන්‍ය, හිස් තර්කයක්.
නඩු ඉක්මන් කරනවා නම් වෙන හුඟක් ආයතන ශක්තිමත් කරන්න ඕනේ. නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, මේ කිසිවක් නොකර ඒවා ඒ විදිහටම තියාගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ දැන් සිටින විනිශ්චයකාරවරුන්ගේ කාලය තව අවුරුදු දෙකක් වැඩි කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ
ඒක නෙවෙයි නියම අරමුණ. ප්‍රශ්නයක් තියෙනවා, හැබැයි තියෙන ප්‍රශ්නයයි යෝජිත විසඳුමයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒක කාටත් වඩා හොඳින් දන්නේ ආණ්ඩුව. ආණ්ඩුව හොඳහැටි දන්නවා මේ ඉදිරිපත් කරන්නේ ව්‍යාජ තර්කයක්, කිසිම අවංකභාවයකින් තොර තර්කයක්.
දැන් සංවාදයක් ඇති වුණොත්, මහානායක ස්වාමීන් වහන්සේලා හම්බවුණොත්, නීතිඥ සංගමය හම්බවුණොත්, සිවිල් සමාජය හම්බවුණොත්, එතකොට රජය ඉදිරිපත් කරන මේ තර්ක සම්පූර්ණයෙන් අසත්‍ය තර්ක බව සක්සුදක් සේ පැහැදිලි වෙනවා. ඒ නිසා තමයි කිසිම සංවාදයකට අකමැති. ඒකට ඉඩක් නොදෙන්නේ මෙන්න මේ හේතුව නිසා.
දැන් වර්තමාන රජය අවුරුදු දෙකකට ඉස්සෙල්ලා බලය ඉල්ලමින් ජනතාව ඉස්සරහට ගියාම, මොනවාද කිව්වේ? මේවා ගැන වචනයක් සඳහන් කළේ නැහැ. “මෙහෙම ලොකු ප්‍රශ්නයක් අධිකරණ ක්ෂේත්‍රයේ තියෙනවා, ඒක විසඳීම සඳහා අපි මෙන්න මේ පියවර ගන්නවා” කියලා එක වචනයක්වත් සඳහන් කළේ නැහැ. වෙන දේවල් බොහොම අවධාරණාත්මකව සඳහන් කළා.
විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා. මැතිවරණ ක්‍රමය අතිශයින් අසතුටුදායකයි, දැන් ඒ නිසා අවුරුදු 12කට පළාත් සභා මැතිවරණ පවත්වීමට බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේවා තමයි තියෙන ප්‍රශ්න කියලා ඔවුන් කිව්වේ.
ඉතින් මේවා විසඳීම සඳහා අංගසම්පූර්ණ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා පැහැදිලි ප්‍රතිඥාවක් මේ රටේ ජනතාවට දුන්නා. ඒ අනුව තමයි මේ විදිහේ තුනෙන් දෙකක බහුතරයක් පාර්ලිමේන්තුවේ ලබාගත්තේ. දැන් ඒවා ගැන කිසි කතාවක් නැහැ.
දැන් අපි බලාපොරොත්තු වෙනවා නිසැකයෙන්ම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තර්ක කරනවා මේ යෝජිත සංශෝධනය කිසිසේත් ජනමත විචාරණයකින් තොරව කරන්න බැහැ කියලා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ප්‍රමාණවත් වන්නේ නැහැ, මේක අනිවාර්යයෙන් ඊට වඩා ඉහළ අධිකරණයක් වන ජනතා අධිකරණයට යොමු කළ යුතුයි ජනමත විචාරණයක් හරහා.
ඒක කරන්නම ඕනේ. නොකර බැහැ. නොකර මේක නීතිගත කිරීමට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කිසිසේත් පුළුවන්කමක් නැහැ. එතකොට අපි ඒ තර්කය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා, අපි ඒක කරනවා.
අපි ඉල්ලීමකුත් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකාරවරුන් මේ නඩුව අහන්න ඕනේ කියලා. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 17 දෙනෙක් සිටිය යුතුයි අපේ නීතිය යටතේ. ඒකෙන් පුරප්පාඩු හතරක් තියෙනවා. එතකොට අද වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩකටයුතු කරගෙන යන විනිශ්චයකාරවරුන් 13 දෙනෙක් ඉන්නවා. තව විනිශ්චයකාරතුමෙක් සැප්තැම්බර් 2 වෙනිදා විශ්‍රාම ගැනීමට නියමිතයි. ඉතිරි වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 12 දෙනයි.
එතකොට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අපේ තර්ක ඉදිරිපත් කරනකොට, “මේක කරන්න බැහැ, ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යයි” කියලා ඒ තර්කය ඉදිරිපත් කරනකොට, අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ විනිශ්චයකාරවරුන් 12 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තබලා මේ තර්ක ඉදිරිපත් කරලා නිගමනයකට එළඹීමට පුළුවන්කම ලැබෙන්න ඕනේ.
තෝරලා බේරලා විනිශ්චයකාරවරුන් පත් කරලා, ඒ විනිශ්චයකාරවරුන් සුළු පිරිසකට මේ භාරදූර කර්තව්‍යය, මේ රටේ අනාගතයට සෘජුවම බලපාන මේ කර්තව්‍යය එහෙම සුළු, කුඩා විනිශ්චය මණ්ඩලයකට භාරදීම කිසිසේත් සාධාරණ වන්නේ නැහැ, යුක්තිසහගත වන්නේ නැහැ. ඒ නිසා පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මේ නඩුව ඇසිය යුතුයි කියන තර්කය අපි ඉතාමත් ගෞරවාන්විතව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා
ඇත්ත වශයෙන්ම මේ කරන්න යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) කියන වගන්තිය සංශෝධනය කිරීම.
(5) කියන වගන්තියේ සඳහන් වෙනවා “ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 65 වන අතර, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 63 වන්නේය.” කියලා
මේ කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් කර තිබෙන්නේම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහායි. මේ සඳහා රජය විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් තිබෙනවා. උදාහරණයක් හැටියට ඉදිරිපත් කරන ප්‍රධාන කාරණයක් තමයි, විශාල නඩු ප්‍රමාණයක් තිබෙනවා, එහෙම නැත්නම් නඩු ලක්ෂ 11ක් අවසන් කර ගැනීමට මේ කාරණය තමයි සුදුසුකම කියලා රජය යම් යම් ප්‍රකාශ නිකුත් කරනනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අධිකරණ පද්ධතියේ තිබෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. පිටු 10කට වැඩි ප්‍රමාණයකින් සමන්විතයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන වාර්තාව.
ඒ වාර්තාවේ පිටපතක් අපි අද මාධ්‍යයට ලබා දෙන්නම්. එතකොට මාධ්‍යයට පුළුවන් මේ පිළිබඳ අධ්‍යයනයක් කරන්න. ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ තිබෙන නීතියේ ආධිපත්‍යයේ රාමුවේ තිබෙන ස්ථාවරත්වය ගැන ඉතා පැහැදිලි සටහන් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා.
අධිකරණයේ ක්‍රියාකාරීත්වය ගැන, නඩු ගොඩගැසී තිබීම ගැන, අධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහා කළ යුතු කාරණා, අධිකරණයේ කාර්යක්ෂමතාවයේ ඇති වී තිබෙන ප්‍රශ්න නිසා රටේ සිදුවන ක්‍රියාවලියට තිබෙන බාධා, ඒ වගේම ව්‍යාපාර කටයුතු සඳහා තිබෙන බාධා යනුවෙන් මේ සියල්ලක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා පැහැදිලි අධ්‍යයනයක් සිදු කරලා තිබෙනවා.
එහි සඳහන් වන ප්‍රධාන කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ ඉඩම් නඩුවල තිබෙන බරපතල තත්ත්වය. උදාහරණයක් හැටියට අවුරුදු 20, 25, 30, අවුරුදු 40 දක්වා ඉඩම් නඩු ගමන් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා පැහැදිලිව සටහන් කර තිබෙනවා.
ඒ නිසා මම හිතන්නේ මේ කාරණය රටේ මහා ව්‍යසනයකට මුහුණ දෙන්න මුලපිරීමක්. ඒ ගැන රජය කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. මේ වයස් සීමාව වැඩි කිරීම තුළ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය, උදාහරණයක් නීතිපතිවරයාගේ වයස් සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් කර තිබෙනවා, පොලිස්පතිවරයාගේ වයස් සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් කර තිබෙනවා. එතකොට ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් කරලා නැහැ.
එහෙනම් මේ සංශෝධනය සමග ඇතිවන ක්‍රියාවලියේ, රාජ්‍ය යාන්ත්‍රණයේ ලක්ෂ 15ක් නැවත ඉදිරියට ගෙන යාම තුළ රටේ මහා තරුණ අසහනයක් සඳහා මග පෑදීමයි සිදුවන්නේ.
උදාහරණයක් හැටියට ගත්තාම අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් වෙලා තිබෙනවා, වසර 3න් 4න් එළියට එන්න ඕන ළමයි අවුරුදු 6ක්, 7ක්, 8ක් දක්වා ගමන් කර තිබෙනවා. මේ හේතුව නිසා බඳවා ගැනීමේ කාර්යපටිපාටිය වෙනස් කරලා තිබෙනවා. උදාහරණයක් හැටියට අවුරුදු 30 කරලා තිබෙනවා, 35 කරලා තිබෙනවා. දැන් මේ වයස් සීමාව දීර්ඝ කිරීමෙන් තවත් වසර කීපයක් දීර්ඝ කරන්න සිදු වෙනවා.
වර්ෂයකට විශ්‍රාම යන ලක්ෂයකට, එකහමාරකට ආසන්න රාජ්‍ය යාන්ත්‍රණයේ පිරිසකට තවත් ඉදිරියට ගමන් කිරීමට දීම තුළ, විශාල තරුණ අසහනයක් ඇතිවීම වළක්වනු නොහැකියි. මක් නිසාද යත් තරුණයන්ට ඒ අයගේ තරුණ ජීවිතේ කාර්යක්ෂමතාවයෙන් වැඩ කළ හැකි අවස්ථාව අහිමි කිරීම මහා සමාජ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වීමට නියමිතව තිබෙනවා.
ඒ නිසා විශේෂයෙන් එකාබද්ධ විපක්ෂය හැටියට අපි කල්පනා කරන්නේ, රටේ මේ ඇතිකරන අසහනකාරී තත්ත්වය තුළ දැනට සිරගෙවල් පාලනය කර ගැනීමට නොහැකි ආණ්ඩුවක්, උදාහරණයක් හැටියට සිරගෙවල්වල සිටින සිරකරුවන් මරා දැමීම තුළ ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් බරපතල උල්ලංඝණයක් තිබෙන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙලා තිබෙනවා.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත්, ජාත්‍යන්තර නීති රීති අනුවත් අත්අඩංගුවේ සිටින සැකකරුවෙකු වැරදිකරුවෙකු වන්නේ නැහැ. එවැනි පිරිස් සතුන් මෙන් මරා දැමීම බරපතල ඛේදවාචකයක්.
මීට ප්‍රධාන හේතුව තමයි මහජනතාව විසින් තෝරා පත් කරගත් මෙම පාලන යාන්ත්‍රණය පළපුරුද්දෙන් තොර කණ්ඩායමක්. උදාහරණයක් හැටියට සිරගෙවල්වල සිරගත කිරීම අද කලාවක් බවට පත්වෙලා තිබෙනවා. මේ කලාව තුළ වැරදිකරුවන් නොවන මිනිසුන් මරා දැමීම බරපතල ඛේදවාචකයක් බවට පත්වෙලා තිබෙනවා.
ඒ නිසා අපි රජයට අවසාන වශයෙන් දැනුම් දෙන්නේ, වයස් සීමාව දීර්ඝ කරනවා නම්, ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85, 86, 87 වගන්ති අනුව ක්‍රියා කළ යුතුයි. මහජනතාවට තිබෙන අයිතිය මහජනතාවට ලබා දිය යුතුයි කියන පණිවිඩයයි මේ අවස්ථාවේ අපිට පැහැදිලිව ප්‍රකාශ කරන්න තිබෙන්නේ.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජන රජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
පළමුවෙන්ම කියන්න ඕනේ මේ විනිශ්චයකාරතුමාලගේ විශ්‍රාමික වයස, ඔවුන්ගේ විශ්‍රාමික වැටුප, ව්‍යවස්ථාවේ අධිකරණ ස්වාධීනත්වය කියන ඡේදය යටතේ තමයි සඳහන් කරලා තියෙන්නේ.
රටේ තවත් වෘත්තීන් තියෙනවා. අමාත්‍යවරුන්ගේ වයස තීරණය කරනවා, ජනාධිපතිගේ වයස තීරණය කරනවා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ වයස තීරණය කරනවා, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ වයස තීරණය කරනවා, වරලත් ඉංජිනේරුවන්ගේ, වරලත් ගණකාධිකාරීවරුන්ගේ වයස තීරණය කරනවාත් ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් නෑ.
මේ සම්බන්ධයෙන් පමණයි තියෙන්නේ. ඇයි? ඒ අධිකරණයේ ස්වාධීනත්වය තකා. මේ විදිහට පුද්ගලයන් ඉලක්ක කරගෙන අධිකරණ විනිසුරන්ගේ කාලය, විශ්‍රාම වැටුප, එහෙමත් නැත්නම් ඔවුන්ගේ වැටුප, එහෙමත් නැත්නම් විශ්‍රාමික වයස තීරණය කරන්න ගියොත් ඊළඟට එන ආණ්ඩුත් ඒ විදිහටම ක්‍රියා කරයි.
මෙතෙන්දී අපේ ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා කිව්වා වගේ, නඩු ගොඩගැහිලා තියෙනවා නම් ඒ පිළිබඳව අජිත් මාන්නප්පෙරුම වාර්තාව තියෙනවා 2017, ආසියානු සංවර්ධන බැංකුවෙන් කරපු 2023 වාර්තාවක් තියෙනවා, නිර්දේශ තියෙනවා, ඒවා ක්‍රියාත්මක කරන්න.
නඩු විශාල වශයෙන් මහේස්ත්‍රාත් උසාවිවලට එන එක වැළැක්වීම සඳහා ඒ පරිපාලන කටයුතු කිරීමට මුලින් යම් වැඩපිළිවෙලක් යොදවන්න. ඒ වගේම ඇප නීතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒ නීතිය වෙනස් කරලා ඒ ඇප ලබාදීමේ කටයුතු කරන්න.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පොලීසියේ උවමනාව මත හෝ එසේ නැතුව හිරගෙවල්වලට ගාල් කිරීමේ ක්‍රියාවලිය වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති කරන්න.
ඒ වගේම විශේෂයෙන්ම අධිකරණයට තවත් අවශ්‍ය නම් අධිකරණ සේවයට, නීතිපති දෙපාර්තමේන්තුවට විනිසුරුතුමාලා තව වැඩි කරන්න. ඒක පහළ උසාවිවලින් වැඩි කරන්න.
ආණ්ඩුවේ අරමුණ මොකක්ද? ආණ්ඩුවේ අරමුණ ඉතා පැහැදිලිව කියන්න ඕනේ, තවදුරටත් මාලිමාව නමින් දේශපාලන ව්‍යාපාරයක් නැත. ලාල් විජේනායක මැතිතුමා එළියට ඇවිල්ලා ඔහුට කරපු තර්ජනයෙන් පස්සේ, මේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක්, මාලිමාව නමින් තවත් ජාතික ජනබලවේගය නමින් විධායක කමිටුවක් හෝ එවැනි දෙයක් ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමේ තැනක් නැත.
ජී.එල්. පීරිස් මැතිතුමාට, ඩිලාන් පෙරේරා මැතිතුමාට මතකයි, 1994 ජනාධිපතිවරණයට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් වෙච්ච වෙලාවේ, විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොරොන්දුවක් මත තමයි නිහාල් ගලප්පත්ති මැතිතුමා ඒ ජනාධිපතිවරණයට ඉල්ලීමෙන් වැළකුණේ. එතකොට ඒගොල්ලන්ගේ අවුරුදු 48ක කාලයක ඉදන් තියෙන බරපතල ඉල්ලීමක් තමයි ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ ඔවුන්ගේ මේ මැතිවරණ ප්‍රකාශනයට පොරොන්දුවක් හැටියට ගෙනාවේ.
අන්න ඒක පාර්ලිමේන්තුවේ විධිමත්ව කරගෙන යනවා නම්, ඒකට ඉතිහාසයක් තියෙනවා, ඒකට වගකීමක් තියෙනවා, ඒකට ජනවරමක් ලැබිලා තියෙනවා, ඒකයි සිදුකළ යුත්තේ. ඒකට අපි පක්ෂද නැද්ද කියන එක නෙවෙයි, ඔවුන් ඒක කරනවා නම් විධිමත් ආකාරයකට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවලා ඒක ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා.
ඒ වෙනුවට දැන් සිදුකරමින් යන්නේ කුමක්ද? මොවුන් කියන්නේ මොකක්ද? මේ ඇප ලබාගත්ත අය, නඩු තියෙන අය, නඩු වැටෙන්න යන අය, හිරේ ඉන්න අය, බයවෙලා මේකට විරෝධය දක්වනවා කියලා.
මම එකක් කියන්න ඕනේ, එහෙම බයවෙච්ච අයත් විපක්ෂයේ ඇති. එවැනි දේවල්වලට බය නම් අපි මෙතන දේශපාලනය කරන්නේ නෑ. හැබැයි ඇත්තට බයවෙච්ච අය ටිකක් ඉන්නවා මේ ආණ්ඩුවේ.
ආණ්ඩුවට අපි කියනවා, ඔබලා අවංක නම්, මේ රටේ ගෑස් අර්බුදයක් ඇතිවුණා, කවුද හොයලා බලලා ක්‍රියා කරන්නේ? ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ තියෙනවා. මේ රටේ තෙල් අර්බුදයක් ඇතිවුණා, කවුද වගකිවයුත්තේ කියලා බලලා පුළුවන් නම් දඬුවම් දෙන්න. මේ රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවුණා මුදල් අමාත්‍යාංශයේ, භාණ්ඩාගාරයේ, ඒ වගේම මහ බැංකුවේ. 2022 මාර්තු 07 වෙනිදා අපට අනතුරු ඇඟවීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර තිබියදී මහ බැංකු නිලධාරීන් මේ බංකොලොත් භාවයට රට අරන් ගියා, පුළුවන් නම් පියවර ගන්න. පොහොර අර්බුදයක් ඇතිකළා, පුළුවන් නම් පියවර ගන්න. විදුලි කප්පාදුවක් ඇතිවුණා, පුළුවන් නම් පියවර ගන්න. ඒ වෙනුවට මොකද කරන්නේ? වෙසක් කාඩ් ගැහුවයි කියලා අල්ලනවා, ගංවතුර ආධාර බෙදුවයි කියලා අල්ලනවා, පෝස්ටර් ගැහුවයි කියලා අල්ලනවා, පත්තර දැන්වීම් දැම්මයි කියලා අල්ලනවා. මේ හොරු ඇල්ලීම නම් නෙවෙයි!
අල්ලන්න ඕන ලොකුම හොරු ඉන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කියලා අපි කියනවා. නං කියලා කියන්න පුළුවන් අපිට. ලොකුම ජාවාරම්කරුවන්ට සුළු කල්ලියක් පැලවත්තේ අද මේ රට ගෙනියන්නේ. මේක ගැන ආණ්ඩුව ඉස්සර නොයෙක් විදිහට කුස්සි කැබිනට්, අර කැබිනට්, මේ කැබිනට්, ජුන්ටෝ කිය කියා ගියා. දැන් ඇත්තටම මම කියනවා අද ‘රතු ජුන්ටාවක්’, අපි නොදන්න රතු ජුන්ටාවක්, මහජනයා ඡන්දය නොදුන්න රතු ජුන්ටාවක් පැලවත්තේ ඉඳන් අද රට පාලනය කරගෙන යනවා. අපි ඒකට බිය වෙන්නේ නෑ කිසිසේත්ම.
සැඟවුණු යටි බිම්ගත පක්ෂවල න්‍යාය පත්‍රවලට අපේ උදාර මවුබිම හා මේ ජාතිය පාවාදෙන්න, මේ ජාතියේ අනාගතය විනාශ කරන්න, තවත් කතාවක් මේ රටේ භීෂණයකට ගොදුරු කරන්න අපි ඉඩ තබන්නේ නැති බව පමණක් මේ ආණ්ඩුවට අපි මතක් කරනවා.
මේ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පළ කල අදහස්
දැන් ආණ්ඩුව කියන එක කතාවක් තමයි, විපක්ෂයේ කිහිප දෙනෙක්ට පුළුවන්ද කියලා ජනවරම තියෙන ආණ්ඩුවකට එරෙහි වෙන්න? දැන් ඇත්තටම ජනවරම තියෙන්නේ මේ ආණ්ඩුවට 22 වන සංශෝධනයක් ගේන්නද? කොහෙත්ම නැහැ.
ජනවරම තියෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැලැස්තර සංශෝධන වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. මං ගාව තියෙනවා ඕන තරම් රෙකෝඩින්ග්ස්, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාම කියපු, මේ රටට අවශ්‍ය කරන්නේ පැලැස්තර ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, නමුත් සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් ගෙනෙනවා කියන කාරණය. එතුමාම කියලා තියෙනවා ආයේ මින් පස්සේ විධායක ජනාධිපති කෙනෙක් පත් කිරීම සඳහා ජනාධිපතිවරණයකුත් නැහැ කියලා.
එතකොට ජනවරම තියෙන්නේ ව්‍යවස්ථාවට පැලැස්තර ගෙනල්ලා 22, 23, 24, 25 යනාදියට තවත් සංශෝධන ගේන්න නෙවෙයි. ජනවරම තියෙන්නේ ව්‍යවස්ථාවක් ගේන්න. එතකොට ජනවරමට පිටුපාමින් තමයි මේ ව්‍යවස්ථාවට පැලැස්තර ගේනවා නම් ගේන්නේ.
ඇත්තටම පාර්ලිමේන්තුවට අවුරුදු 65 වයස වැඩියි. ශ්‍රේෂ්ඨාධිකරණයට අවුරුදු 65 තරුණයි. ඒක මාර ලොජික් එකක්. ඒ කියන්නේ මාලිමා ලොජික්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට අවුරුදු 65ක් වයස වැඩියි, ඒ හින්දා තරුණයෝ ඕනේ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට යනකොට අවුරුදු 65 තරුණයි, ඒ හින්දා තව කාලය දික් කරන්න ඕනේ. එතකොට ජනවරම තියෙන්නේ මේ ආණ්ඩුවට නම්, වයස අවුරුදු 65 තියෙන, 65 ඉන්න අයට අය වෙනුවට තරුණ අය ගැනීමේ සඳහා මිසක්, වයස අවුරුදු 65 අයගේ කාලය දික් කරන්න නෙවෙයි.
ඊළඟට මේ ආණ්ඩුව විසින්ම 22 වන සංශෝධනය ගෙන ඒම සඳහා දෙන කරුණු දිහා බලන්න. මුලින්ම කිව්වා අවුරුදු ගානකට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වෙනස් වෙලා නැහැ, ඒ හින්දා තමයි ගේන්නේ කියලා.
ඊළඟට කිව්වා ලංකාවේ ජනතාවගේ ආයු කාලය වැඩි වෙලා තියෙනවා, ඒ ආයු කාලයට සරිලන විදියට විශ්‍රාම යන වයස වැඩි කරන්න ඕනේ කියලා කිව්වා. දැන් අලුත්ම බයිලාව තමයි මේ නඩු ප්‍රමාදය, නඩු ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා තමයි මේක ගේන්නේ කියලා.
දැන් ලක්ෂ 11කට පොඩ්ඩක් වැඩියෙන් තියෙන නඩුවලින් ලක්ෂ 10කට වැඩියෙන්ම නඩු තියෙන්නේ මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් උසාවිවල. එතකොට මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් උසාවිවල තියෙන නඩු ප්‍රමාදය වැළැක්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩි කිරීම කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒකත් අලුත් ලොජික් එකක්. ඒකත් මාලිමා ලොජික් එකක්.
ඉතින් මේ පැහැදිලිවම නංගි පෙන්නලා අක්කා දීමේ ක්‍රමයට තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ. පෙන්නන්නේ එක කාරණයක්, කරන්නේ තව කාරණයක්.
ඒ හින්දා මේක ඉතාම භයානකයි. මොකද හේතුව මේක අද මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙලා ඉන්න පාර්ශ්වයන් සියලු දෙනාම මේ අවදානම දැකලා මේකට විරුද්ධ වෙලා තියෙන්නේ සහ මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කිසිම දැනුමක් නැති අර වැලිමඩ ඉන්න අපේ අල ගොවියා, බණ්ඩාරවෙල, හාළිඇල ඉන්න එළවළු ගොවියා, කම්කරුවා, මේ සියලු දෙනාටම මේක බලපානවා.
මොකද හේතුව මේ සංශෝධනය සම්මත වුණොත්, මේ සංශෝධනය හරහා නැවත වරක් ඉතිහාසයේ සමහර අවස්ථාවල වුණා වගේ පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් කියන දෙකම, අකුලා ගැනීමේ කුමන්ත්‍රණයක් බවයි අපිට පෙන්නේ.
මේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නීතිඥ ප්‍රියදර්ශන ගුරුගේ මහතාද අදහස් දැක්වූ අතර නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතාද සහභාගී වීය.






















