රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම මිස ජනතා ගැටලුවලට විසඳුම් දීම නොවේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අතිමහත් බහුතරයක් ලංකාවේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී අමාරුවෙන් දිවි ගෙවන බවත් බොහෝ සමීක්ෂණ සංවිධානවලට අනුව අප රටේ දුප්පත්කම 30-40% ප්‍රමාණයක් බවත් විරැකියාව වැඩි වෙමින් බඩුමිල ඉහළ යමින් ආර්ථික වර්ධනය අඩු වෙමින් යන බවත් දිනෙන් දින ජීවත් වීමේ ගැටලුවට ලක්වන ජනතාව වැඩි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයට මැතිවරණ 3කින් බලය දුන්නේ මේ ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමට වුවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු වූවාද ජනතාව අපේක්ෂා කළ උසස් ජන ජීවිතය බිහි වූවාද කියා ගැටලුවක් ඇති බවත් 2019 සේම 2024 දීද ජනතාව රැවටුණු බවත් වී ගොවියා සාධාරණ සහතික මිලක් ඉල්ලා සිටි විට මැතිවරණ සමයේ රු. 150ක ස්ථාවර මිලක් ලබා දෙන බව වත්මන් රජයේ මැති ඇමතිවරු කිව්වත් දැන් ඒ අය වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් වැය වුවත් රජය දෙන්නේ රු. 120ක් බවත් ඡන්දය ගෙන රාජ්‍ය බලය ලබා ගත් පසු මොවුන් හිතාමතාම තුනෙන් දෙකේ විධායක ජනාධිපතිගේ ආණ්ඩුව වී කිලෝවකින් රු. 17ක් ගොවියාට පාඩු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවැනි ගැටලු තිබියදී රජයේ ප්‍රමුඛතාව වන්නේ අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම බවත් රජය සෑම විටම කරන්නේ බොරුව රැවටිල්ල බවත් ඉස්සර හේන් ගොවිතැනට අක්කර 5ක් දුන්නත් ගොවි පුතා අද මේ අක්කර 5 අක්කර 2ට අඩු කර ඇති බවත් ඒ සඳහා ද විවිධ තහංචි අභියෝග ඇති බවත් මේ නිසා හේන් ගොවියා පව අද අසරණ වී ඇති බවත් මේවාට රජයට උත්තර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ උද්ගත වී ඇති ගොවියන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලුණුගම්වෙහෙරේදී අද පැවැති ගොවි ජනතා හමුව අමතමිනි.
සමගි ජන බලවේගය බලයට පැමිණියා නම් නව වාරි පුනරුත්ථාපන යෝජනා ක්‍රම ගොඩනගා නව වැව් අමුණු සංස්කෘතියක් ගොඩනගන්න පවා සැලසුම් කළත් අද ඒ කිසිවක් සිදු කළ නොහැකි බවත් ගොවි පුතාගේ මාලිමා රජයෙන් ගොවියාට ගුණාත්මක පොහොර, කෘෂි රසායන, බීජ පවා නොලැබෙන බවත් පොහොර සහනාධාරය පවා නිසි පරිදි නොලැබෙන බවත් කෘෂි උපකරණවලට පවා වැට් ගහන බවත් ගොවි ජනතාවගේ ප්‍රාණය කියා ඡන්දය ඉල්ලා අද ගොවියා අමතක කර වත්මන් රජය අයි. එම්. එෆ්. එකේ සුවච කීකරු ගෝලයා, සුරතලා සහ වහලා බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළා කියා ජනතා ගැටලුවලට විසදුම් ලැබෙන්නේ නෑ
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළා කියා රටේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසදුම් නොලැබෙන බවත් උද්ධමනය අඩු නොවන බවත් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන සිදු නොවන බවත් නව කර්මාන්තශාලා නිර්මාණය නොවන බවත් රජය මේ අවස්ථාවේ උත්සාහ කරන්නෙත් ජනතාව රවටන්න බවත් මොවුන් පොදු ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න උත්සාහ කරන බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අද නොමැති බවත් දැන් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය උත්සාහ කරන්නේ ඒකාධිපති පාලනයක් ස්ථාපිත කරන්න
රජය මේ උත්සාහ කරන්නේ රටේ ඒකාධිපති පාලනයක් නිර්මාණය කිරීමට තනි පක්ෂ පාලනයක් ක්‍රියාත්මක කිරීමට බවත් අදටත් ගමේ ප්රජාතන්ත්රවාදය නොමැති බවත් සිවිල් ආරක්ෂක කමිටුවේ සහ තරුණ සංවිධානවලට පවා සාමාජිකයන් නම් වූයේ පැලවත්ත පක්ෂ කාර්යාලයේ නම් ලිස්ට් එකෙන් බවත් හැකියාව මත තනතුරු ලබා දෙනවා වෙනුවට දේශපාලන පත්වීම් අනුව තනතුරු පත්වූ බවත් මේවා යුක්ති සහගත නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අදටත් බන්ධනාගාර ගැටලුවලට විසදුම් නෑ
අද බන්ධනාගාරවල සිටිය හැකි උපරිම ධාරිතාව 11000ක් වුවත් 40000ක් සිටින බවත් බන්ධනාගාරවල මේ ගැටලුවට විසදුම් දෙන්න අදටත් රජයට නොහැකි වී ඇති බවත් මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පසු බන්ධනාගාර අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ එම යෝජනාව පරාජය කරන්න රජය කටයුතු කළ බවත් අවසානයේ දින කිහිපයකින් පසු මහර බන්ධනාගාරයේ වැලිකඩ බන්ධනාගාරයේ කුරුවිට බන්ධනාගාරයේ පල්ලන්සේන බන්ධනාගාරයේ විවිධ සිදුවීම් මතුවූ බවත් අදටත් බන්ධනාගාර අමාත්‍යවරයාට මේ තත්ත්වය පාලනය කරන්න සේම මේ තදබදයට විසදුම් දෙන්න නොහැකි වුවත් ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න නම් උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බලය ගන්න ගොවියා රජා වුණාට අද ගොවියා කසිප්පුකාරයා කරා
රජය අද බලයෙන් මත්වී ඇති බවත් එදා ගොවියා රජවරු යැයි පැවසූ වත්මන් රජයට අද ගොවියා කසිප්පුකාරයා කෘත්‍රීම ගොවියා බවට පත්ව ඇති බවත් දැන්වත් මොවුන්ගේ බොරුවලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බවත් මේ බොරුවලට එරෙහිව දශලක්ෂ ගණනින් මහපාරට බැස අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලෙසත් ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයේ අරමුණ ඒකපක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න
රජය බොරුව පදනම් කර ගෙන රැවටිල්ල වංචාව ගොනාට ඇන්දවිල්ල මංමුලා කිරීම සිදු කරන බවත් රජයේ ප්‍රතිපත්ති මේ මත පදනම් වී ඇති බවත් අස්වැසුම දැන් කැපෙමින් යන බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කිව්වත් එයට ජනවරමක් දුන්නට රජය ක්‍රියාත්මක කරන වරම වන්නේ පොදු ජනතාවට කැපිල්ල බවත් එක් පක්ෂයක් රට පාලනය කරන යුගයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත් අධිකරණයේ ස්වාධිනත්වයට මරු පහරක් එල්ල කර නීතියේ ආධිපත්‍ය සුරක්ෂා කරන අධිකරණය ගැන විශ්වාසය නැති කරන්න මේ රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.






















