එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමනායක මහතා සඳහන් කළේ විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවලට මෙලෙස තරමක වැසි ඇතිවිය හැකි බවය.
අද (23) දිනයේදී ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතී.
අම්පාර, මඩකලපුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද සචිත් වික්‍රමනායක මහතා පැවසීය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර ප්‍රදේශවල සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර ඉහළ අගයක පැවතිය හැකි බවය.
පොලොන්නරුව වැනි ප්‍රදේශවල උදෑසන 8:30 වන විටත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ඉක්මවන බැවින්, පෙරවරු 10:00 සිට පස්වරු 3:00 දක්වා කාලය තුළ එළිමහනේ ගතකිරීම අවදානම් බවද කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමනායක මහතා පැවසීය.
එබැවින් දහවල් කාලයේ එළිමහනේ ගතකරන කාලය සීමා කරන ලෙසත්, වැඩිපුර ජලය පානය කර සිසිල් ස්ථානවල ගැවසෙන ලෙසත් ඒ මහතා ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
තවද කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.






















