22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර් 24 වැනිදා සූදානම් බවත් ඒ සඳහා ප්රගතිශීලි ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අමතමිනි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ රජය ප්රජාතන්ත්රවාදය විනාශ කර අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය විනාශ කරන බවත් පැහැදිලිවම 22 වැනි සංශෝධනයට විරුද්ධව ප්‍රථමයෙන් විරුද්ධ වුයේ සමගි ජන බලවේගය බවත් ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදීව එය තවත් ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට රට මුහුණ දෙන්නේ භයංකාර අභියෝගයකට බවත් වත්මන් මාලිමා රජය මෙම 22 සංශෝධනය තුළින් ප්රජාතන්ත්රවාදය විනාශ කර තනි පක්ෂ පාලනයක් ඇති කර රටේම බලය පැලවත්තට ගෙන යාමේ උත්සාහය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ජනතාව නොමග යවා රවටා අන්දවා 2/3 බහුතරය ලබා ගත් බවත් පාර්ලිමේන්තුවේ 159ක් මාලිමාවට හිටියා කියා ලක්ෂ 220 ජනතාවගේ අයිතිය විනාශ කරන්න ඉඩ නොදෙන බවත් මෙයට විරුද්ධව විශාල ජන බලවේගයක් ගෙන එන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
තවද පුරවැසියන් හා අනාගත පරපුර වෙනුවෙන් මේ දුර්දාන්ත 22 වැනි සංශෝධනය පරාජය කරන ලොකුම වෙඩිමුරය තබන බවත් එය ආණ්ඩුවේ වෙනසක් කරා ගෙන යන බවත් ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය පරාජය කරන ලොකුම පියවර 24 වැනිදා සමගි ජන බලවේගය තබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.






















