ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (29) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පිරීස් මහතා දැක්වූ අදහස්
22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එය දැනට බලාත්මකයි. එය දැන් ශ්රී ලංකා නීතියේ කොටසක්. නමුත් මෙය මෙය අවසානය නොවෙයි.
නමුත් අනාගත පාර්ලිමේන්තුවකට මේ සම්බන්ධයෙන් යම්කිසි ක්රියාමාර්ගයක් අනුගමනය කිරීමේ පූර්ව හැකියාව තියෙනවා. අපේ ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ අධිකරණ බලය සතුවන්නේ පාර්ලිමේන්තුවට. නමුත් පාර්ලිමේන්තුව ඒ අධිකරණ බලය ක්රියාත්මක කරන්නේ අධිකරණය හරහායි. බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා පරමාධිපත්යය තියෙන්නේ ජනතාව අතේයි කියලා.
නමුත් නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේ වැඩ කටයුත්තක් හැටියට පිළිගන්නවා. සාමාන්යයෙන් අපේ රටේ නීති සම්පාදනය කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන්. එහෙම වුණත් ඕනෑම නීතියක් විවාද කරලා සම්මත කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නැහැ. ඕනෑම නීතියක් පාර්ලිමේන්තුවට සම්මත කරන්න බැහැ. ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බලපාන පනතක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්ය වෙනවා ජනතාවගේ අනුමැතිය ලබාගන්න. සෘජුවම ජනතාව ළඟට ගිහිල්ලා මේකට කැමතිද අකමැතිද කියන ප්රශ්නය අහලා, ජනතාවගේ අනුමැතියට යටත්ව තමයි සමහර නීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය තිබෙන්නේ.
ජනතා පරමාධිපත්යයේ ප්රායෝගික වශයෙන් ක්රියාත්මක වන්නේ ජනමත විචාරණ හරහා. ජනතාවගේ කැමැත්ත කුමක්ද කියලා සොයා ගැනීමට තිබෙන ප්රායෝගික ක්රමවේදය තමයි ජනමත විචාරණයන් පවත්වලා ජනතාවගෙන් අහන්න මේ යෝජිත නීතියට, මේ යෝජිත පනතට, එහෙම නැත්නම් මේ යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථාවට කැමතිද, නැද්ද කියන එක.
මේ රටේ ජනතාවට කාර්යභාරයක් තිබෙනවා නීති සම්පාදනය කිරීමේ ක්රියාදාමය සමඟ. පාර්ලිමේන්තුව පත්වන්නේ අවුරුදු පහක් වගේ සීමිත කාලයකට. ඒ කාලය තුළ පවා පාර්ලිමේන්තුව භාරකාරයෙක් පමණයි. ජනතාවගේ නියෝජිතයන් හැටියට ඒ සීමිත කාලය තුළ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමට යම් යම් සීමාවන්ට යටත්ව පාර්ලිමේන්තුවට බලය තිබෙනවා.
ඒ අවුරුදු පහ ගත වුනාම අලුත් පාර්ලිමේන්තුව පත්වෙනවා. ඒ පත්වෙන පාර්ලිමේන්තුවට වැටහෙනවා, ජනතාවගේ පරමාධිපත්යය වැරදි ලෙස උදුරාගෙන තිබෙනවා කියලා. අතීත පාර්ලිමේන්තුව, මීට ඉස්සෙල්ලා තිබිච්ච පාර්ලිමේන්තුවක් වැරදි නිසා, අසාධාරණ ලෙස ජනතාව සතු පරමාධිපත්යය උදුරාගෙන තියෙනවා කියලා අනාගතයේ පත්වන පාර්ලිමේන්තුවට ඒත්තු ගැන්වෙනවා නම්, එහෙනම් ඒ අනාගත පාර්ලිමේන්තුවට, ඒ කියන්නේ තව අවුරුදු තුනකින් පත්වෙන පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය තිබෙනවා ජනතාවගෙන් අහිමි කරගත් පරමාධිපත්යය නැවත ශ්රී ලංකා ජනතාවට ලබාදීමට.
අපි මුළුමනින්ම පැහැදිලිව කියනවා, තව අවුරුදු තුනකින් පත්වෙන පාර්ලිමේන්තුවට අයිතිවාසිකමක් පමණක් නෙමෙයි, වගකීමක් හා යුතුකමක් තිබෙනවා කියලා 22 වැනි සංශෝධනය අවලංගු කිරීමට.
මොකද කිසිම පාර්ලිමේන්තුවකට නීතිය පිළිගත් මූලධර්මයක් අනුව අනාගත පාර්ලිමේන්තු වල අත් බැඳලා තියන්න පුළුවන්කමක් නැහැ. මේ පාර්ලිමේන්තුව මොනවා කළත් මොනවා සුදුසුයි කියලා විශ්වාස කළත් ඒ සියල්ලක්ම නිෂ්ප්රභ කිරීමටත්, ඊට හාත්පසින් වෙනස් වැඩපිළිවෙළක් අනුගමනය කිරීමටත් කිසිම සීමාවකින් තොර බලයක් ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ අනාගත පාර්ලිමේන්තුවට තිබෙනවා.
මේ පාර්ලිමේන්තුව කරන දේවල් තව අවුරුදු තුනකින් පත්වන පාර්ලිමේන්තුව ඒ විදිහටම පිළිගන්න කිසිම අවශ්යතාවයක් නෑ. ඒවා සුදුසු විදිහට වෙනස් කිරීමට, අලුත් පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය, අභිමතය තිබෙනවා. අපේ රටේ මෙතෙක්දුරට ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන 22ක් කර තිබෙනවා. සමහර ඒවායේ ආයුෂ බොහොම සීමිතයි, බොහොම කෙටි කාලයක් තුළ පමණයි ඒ ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන ක්රියාත්මක වුණේ.
ඒ නිසා අප අවංකව විශ්වාස කරනවා, අපේ මතය මේ 22 වැනි සංශෝධනය මේ රටේ ප්රජාතන්ත්රවාදී සංස්කෘතියට, ජනතා අයිතිවාසිකම් වලට පටහැනි කියන ස්ථාවරය තමයි අපි එදත් හිටියේ, අදත් ඉන්නේ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඊට පටහැනි මතයක් ප්රබලව තිබුණා. මෙය සදාකල් පවතින මතයක් නෙමෙයි. ඒවා කලින් කල වෙනස් වෙනවා. අපි විශ්වාස කරනවා මෙවැනි කාරණා පිළිබඳව තීරණ ගැනීමේ බලය සතු විය යුත්තේ ශ්රේෂ්ඨාධිකරණයට නෙමෙයි, මේ අපේ මතය. ඒ බලය දෙන්න ඕනේ විශේෂ අධිකරණයකට. ආණ්ඩුක්රම ව්යවස්ථා අධිකරණයට.
එහෙම දෙයක් මේ රටේ තිබුණා, මෙය අමුතු දෙයක් නෙමෙයි. 1972 ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ වෙනමම අවස්ථාවක් තිබුණා, ආණ්ඩුක්රම ව්යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් සලකා බලන්න නඩු තීන්දු දීමට. ඒ බලය 1972 ව්යවස්ථාව යටතේ තිබුණේ ශ්රේෂ්ඨාධිකරණයට නොවේ. ඒ විෂය පිළිබඳ විශේෂ අත්දැකීම්, නිපුණතාවයක් දැනුමක් තිබෙන විනිශ්චයකාරවරුන් වෙනම තෝරාගෙන පත්කළා.
දැන් ශ්රේෂ්ඨාධිකරණයට විවිධ කාර්යයන් තියෙනවා. හැබැයි ඒ කාර්යයන් වලින් එකක් හැටියට නෙමෙයි ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවට සම්බන්ධ නඩු තීන්දු නිගමන වලට පැමිණීම විශේෂ කාර්යයක්. අන් සියලු දේවල් අභිභවා සිටින කර්තව්යයක්. ඒ නිසා ඒ සඳහා අවශ්ය වන්නේ සියලු වැඩ කටයුතු තිබෙන උසාවියක් නෙමෙයි, මේක පමණක් කරන උසාවියක් තමයි මෙයට අවශ්ය වන්නේ. ඊට සුදුසු පසුබිම තියෙන විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත වෙනම අධිකරණයක්.
1972 ව්යවස්ථාවේ තිබුණා වගේම එවැනි උසාවියක් ස්ථාපිත කිරීම මේ රටට සුදුසුයි, ගැලපෙනවා, අපේ රටට හොඳ දෙයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අලුත් අංගසම්පූර්ණ ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සකස් කිරීමේදී එවැනි උසාවියක් නිර්මාණය කිරීම කාලීන අවශ්යතාවයක් හැටියට අප දකිනවා. 2009දී මේ විදිහටම ඉහළ උසාවිවල ශ්රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා නීතියක් ගෙනාවා. හොංකොං ප්රාන්තයේ.
ඒ යෝජනාව වුණේ ශ්රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විවේක ගන්න වයස 60 ඉඳන් 65 දක්වා දීර්ඝ කළ යුතුයි කියලා. එය සිදුකළා. දැන් අපේ පාර්ලිමේන්තුවේ ගිය සිකුරාදා වුණා වගේම හොංකොං පාර්ලිමේන්තුවෙත් ඒ යෝජනාව සම්මත වුණා. එදා හොංකොංවල සිටියේ ජෙෆ්රි මාර්ක් අග්රවිනිශ්චයකාරතුමා. එතුමා අපි සියලු දෙනා දිරිමත් කරන, ඉතාමත් ප්රශංසනීය ක්රියාමාර්ගයක් අනුගමනය කළා.
එතුමා කිව්වා, දැන් මේ අලුත් නීතියක් සම්මත කරගෙන තිබෙනවා. ඒ අනුව එතුමාට තව අවුරුදු පහක් හොංකොං ප්රාන්තයේ අගවිනිසුරුවරයා හැටියට වැඩ කටයුතු කිරීමට බලය තිබෙනවා. නමුත් එතුමා කිව්වා, ඒක කරන්නේ නෑ. ඒ ලැබිච්ච අවස්ථාව ප්රතික්ෂේප කරනවා කියලා.
ඒකට හේතුව තමයි එතුමා කිව්වා, එතුමා අග්රවිනිශ්චයකාර ධූරයට පත්වෙන අවස්ථාවේදී එතුමාගේත් අන් සියලු විනිශ්චයකාරවරුන් හා සාමාන්ය ප්රජාවගේත්, විශ්වාසය, බලාපොරොත්තුව වුණේ එතුමා වයස 60දී, ධූරයෙන් ඉවත් වෙලා විවේක ගනියි කියලා. ඒ විශ්වාසය හැමෝටම තිබුණා. ඊට පස්සේ තමයි එතුමා සේවය කරන කාලය මැද හරියේ මේ වෙනස සිදුවුණේ.
ඒ නිසා අපි විශ්වාස කරනවා, මෙවැනි කාරණා පිළිබඳව තීරණ ගැනීමේ බලය සතු විය යුත්තේ ශ්රේෂ්ඨාධිකරණයට නෙමෙයි, ඒ බලය දිය යුත්තේ විශේෂ අධිකරණයකට කියා.
මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්ය නීතිඥ ඩිලාන් පෙරේරා මහතා
මේ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් අද ප්රසිද්ධියේ ප්රකාශ කරනවා ඔවුන්ට ආණ්ඩු බලය ප්රමාණවත් නැහැත ඔවුන්ට රාජ්ය බලයත් අවශ්යයයි කියලා. මෙය ඉතාම බරපතල ප්රකාශයක්. ආණ්ඩු බලය සහ රාජ්ය බලය කියන්නේ දෙකක්. ආණ්ඩු අවුරුදු පහෙන් පහට වෙනස් වෙනවා. නමුත් රාජ්යය එහෙම වෙනස් වෙන්නේ නැහැ. රාජ්ය ආයතන ඡන්දයක් තියලා වෙනස් කරන්න බැහැ. නමුත් රට පාලනය කරන පක්ෂය විසින් රාජ්ය බලය තමන් සතු කරගන්න හදනවනම් එය රටේ ප්රජාතන්ත්රවාදයේ අවසානය බව අප කිව යුතුයි.
රටේ ජනතාව මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. ආණ්ඩුවේ අයගේ ප්රකාශවලින් ජනතාවට මේ ගැන අවබෝධයක් ලබාගත හැකියි. රාජ්ය බලය ගන්නවා කියනකොට ඊට අධිකරණයත් ඇතුළත්. එය ඉතාම බරපතලයි. ඒ විතරක් නෙමෙයි මෙය අධිකරණයට කරන අපහාසයක් හැටියටත් පෙන්වා දෙන්න පුලුවන්. ඔවුන් ප්රකාශ කරන ආකාරයට ඔවුන් රාජ්ය බලයත් අයුතු ලෙස ලබාගැනීම සිදුකළහොත් මේ රටේ ප්රජාතන්ත්රවාදයේ මලගම ලියවේවී යයි මා ප්රකාශ කරන්න කැමතියි.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ ප්රධාන ලේකම් බන්දුල චන්ද්රසේකර මහතා
විදුලිබල ලේකම් විසින් නිකුත් කරන ලද ලිපියක් ගැන අද සමාජයේ කතා බහක් ඇති වෙලා තිබෙනවා. එමගින් සුර්ය බල නිෂ්පාදනය සඳහා සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට සහ පාරිභෝගිකයින්ට දුන් පහසුකම කප්පාදු කර තිබෙනවා. මෙයින් පෙනී යන්නේ මේ ආණ්ඩුව විසින් පුනර්ජනනීය විදුලිබල පහසුකම් සම්පූර්ණයෙන්ම නැති කරන බවක්ය.
විදුලි පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලි බිල අඩු කරගෙන සහනයක් ලබාගන්න තමයි මේ පහසුකම ලබාදුන්නේ. මෙය මහා පරිමාණ විදුලි උත්පාදනය කරන ආයතනවලට ලබාදුන් ව්යාපෘතියක් නෙමෙයි. ජනතාවගේ නිවෙස්වල වහලවල් මත සූර්ය පැනලා සවි කරලා තමයි මේ පහසුකම ලබාදුන්නේ.
සැප්. 11 නිකුත් කළ ගැසට් නිවේදනය මගින් මේ පහසුකම ඉවත් කර තිබෙනවා. මේ ක්රමය ඉවත් NET+ ක්රමය ආරම්භ කරන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. මෙය විශාල ආයෝජකයින්ට ලබාදුන්න අවස්ථාවක්. එය නවීන ලෝකයේ ප්රතිපත්තිවලට එරෙහිව යාමක්. අද ලෝකය කතා කරන්නේ තමන්ට අවශ්ය විදුලි බලය තමන් විසින්ම නිපදවා ගැනීම පිළිබඳවයි. නමුත් මේ ආණ්ඩුව ඒ ප්රවණතාවයන්ට එරෙහිව යමින් තමන්ට හිතුවතුන් ගොඩදැමීමේ ක්රියාමාර්ගයකයි ගමන් කරමින් සිටින්නේ. මෙමගින් පාරිභෝගිතයින්ගේ විදුලි බිල අඩු කරගැනීම මුළුමනින්ම නැති වී යනවා. මෙය රටේ සමාන්ය ජනතාවට එල්ල කර තිබෙන මරු පහරක්.
මෙහිදී අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා
මේ ආණ්ඩුව බලයට පත්වෙලා වසර දෙකක් ගත වුණත් රටේ තිබෙන මූලික ප්රශ්න විසඳන්නේ නැතිව තමන් මවා ගත්ත මායාකාරී ආණ්ඩු පාලනයක නිරත වෙමින් සිටිනවා. 2022 රටේ ආර්ථික අර්බුධයෙන් ගැලවීම සඳහා රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා ප්රමුඛ එවකට රජය IMF සමග ගිවිසුමකට එළැඹුනා. ඒ ගිවිසුම අනුව තමයි රට යළි ගොඩනගන ක්රියාදාමය ඉදිරියට ගෙන ගියේ.
දැන් ඒ IMF මූල්ය ආයතනය සමග එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැත්වුණා. නමුත් ඒ සාකච්ඡාවේදී මේ ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවන්ට අනුමැතිය ලැබුණේ නැහැ. මෙය ඉතාම බරපතල තත්ත්වයක්. මේ ආණ්ඩුව සමාගම් කිහිපයකට සහ වෙළඳුන් කිහිපදෙනෙකුට වාසි ලැබෙන ආකාරයට වැඩපිළිවෙලක් සකස් කරගෙන තිබෙනවා. මේ සඳහා මොවුන් ප්රතිපත්ති වෙනස් කර තිබෙනවා.
ඒ විතරක් නෙමෙයි අද රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට යමින් තිබෙනවා. එහිදීත් වර්තමාන රජය තමන්ට හිතවත් වෙළඳුන්ට ප්රමුඛත්වය දෙමින් ගොවීන් අන්ත අසරණ තැනකට ඇද දමා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අද උක් වගාව සම්පූර්ණයෙන් කඩා වැටිලා. සීනි නිෂ්පාදචනය සීමා වෙලා. මෙයින් යැපෙන පවුල් දහස් ගණනක් අද අසරණ වෙලා. නමුත් ආණ්ඩුව මේ කිසිම දේකට උත්ර ලබාදෙන්න අපොහොසත් වෙලා තිබෙනවා.
රටේ යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශයි. කැඩුණු පාරක් හදන්නවත් තාර ටිකක් දා ගන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. පාලම්, බෝක්කු මේ සියල්ලෙහි අලුත් වැඩියා කටයුතු නතර වෙලා.
කොහොම නමුත් ආණ්ඩුව මේ ගෙන යන වැඩපිළිවෙල නිසා IMF සංවිධානය පවා ඉවත් යන තත්ත්වයක් තමයි නිර්මාණය වෙමින් තිබෙන්නේ. මෙය ඉතාම බරපතල තත්ත්වයක්. මේ හේතුවෙන් අපේ රට විශාල අර්බුධයකට ගමන් කරමින් තිබෙන බව මා ප්රකාශ කරනවා.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩල සභික නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා
ජනාධිපතිතුමා දේශපාලන රැස්වීම් පටන් ගන්නකොට කාරණා තුනක් මතක් කළා. ඉන් පළමුවැන්න මත්ද්රව්ය ව්යාපාරය මර්ධනය, දෙවැන්න පාතාල ක්රියාකාරකම් මර්ධනය, තුන්වැන්න තමයි රාජපක්ෂ පවුල අතහරින්නේ නෑ කිව්වා. රටක ජනාධිපතිවරයෙක්ට දේශපාලන වේදිකාවකට නැගලා මෙවැනි දෙයක් කතා කිරීම කාලෝචිත නැහැ. මින් පෙර සිටි ජනාධිපතිවරුන් මේ ආකාරයට හැසිරිලා තිබෙනවා අපි දැකලා නැහැ.
අද අපි රූපවාහිනියේ ප්රවෘත්ති බැලුවොත් දවස ගානේ දකිනවා මත්ද්රව්ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම පාතාල ක්රියාකාරකයින් අත්අඩංගුවට ගන්නවා. නමුත් මේ කිසිම ක්රියාවක අඩුවීමක් අපිට නීතිඥවරුන් වශයෙන් දැකලා නැහැ. දැන් අපි ගත්තොත් පසුගිය දිනක බද්දේගම නගරයේ ත්රීරොද රථයක ගමන් කරමින් සිටි තිදෙනෙකුට මහ මහමග වෙඩි තබා ඝාතනය කරනවා. මෙවැනි දේවල් අපි දැකලා තියෙන්නේ චිත්රපටිවල. ලංකාවත් අද චිකාගෝ වගේ වෙලා. මෙය ඉතාම බරපතල තත්ත්වයක්. ජනතාවට හිතේ බයක් සැකක් නැතිව පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් මේ කිසිම දේකට ආණ්ඩුව ක්රියාමාර්ගයක් ගන්න බවක් අපට පෙනෙන්නට නැහැ.
ඒ විතරක් නෙමෙයි අද රටේ උද්දමනය සියයට අටයි. දුප්පත්කම ඉහළ ගිහින්. ආණ්ඩුව විසින් රාජ්ය අත්පත් කරගන්න උත්සාහයේ යෙදෙන ගමන් ආර්ථිකය මර්ධනය කරමින් යනවා. මේ දේවල් රටේ ජනතාවට තාම දැනෙන්න පටන් ගෙන නැහැ.
ඒ වගේම මේ ආණ්ඩුවට තව දෙයක් පෙන්වා දෙන්න කැමතියි ඉතිහාසය මතක් කර දෙමින්. ඒ තමයි, උසාවියට සහ අධිකරණ පද්ධතියට අත තියපු කිසි කෙනෙක් වැඩි දුර ගියේ නැහැ. ජනතාව පීඩාවට පත් කරලා තමන් දිනුවා කියලා ආණ්ඩුව හිතනවනම් ආණ්ඩුවේ පරාජය වැඩි ඈතක නොවන බව මතක තබා ගත යුතුයි.
2026 සැප්තැම්බර් 29






















