පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම නව ලංකා නිදහස් පක්ෂය දැඩි ලෙස විරෝධය පළ කර සිටිනවා.
එම පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්රකාශ කරන්නේ මෙය සිදු නොවිය යුත්තක්ව තිබූ බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද ප්රකාශ කළේය.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමෙන් උසාවියට රැගෙන ඒම ඉතාම බරපතල කාරණයක්.
ඥානසාර හිමියන්ගේ යම් යම් ප්රකාශ මම දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා. ඒක වෙනම කතාවක් නමුත් උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ.
රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව බෞද්ධාගමට ප්රමුඛස්ථානය දිය යුතුයි. එහි විවාදයක් නැහැ.
මහා නායක හිමිවරුන් පවා නිවේදනයක් නිකුත් කරමින් ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන බලවත් කනස්සල්ල පළ කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප්රඥප්තියේත් සඳහන් වෙනවා, මෙවැනි අවස්ථාවලදී අදාල ගරුත්වය දිය යුතු බව. කුමන ආගමක වුවත් පූජකතුමෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අදාළ ඇඳුම ඉවත් කර ගිහි ඇඳුම් ඇන්දවීම බරපතල කාරණයක්.
මෙම සිදුවීමෙන් බෞද්ධ ජනතාව පමණක් නොව අනෙකුත් ආගම් නියෝජනය කරන ශ්රී ලාංකික ජනතාවද බලවත් ලෙස කම්පාවට පත්ව සිටිනවා.
එම නිසා ඥානසාර හිමියන් චීවරය සහිතව මින් ඉදිරියට අධිකරණයට ඉදිරිපත් කිරීම අදාළ බලධාරීන්ගේත් ඒ වගේම වර්තමාන ආණ්ඩුවේත් වගකීමක්.






















