පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පළ කළ අදහස්
අපි මුලින්ම මෙතැන කතා කරන්නේ ප්රතිව්යුහගත කිරීම ගැනයි. නව ප්රතිරූපයකුයි, ඊට අදාළ ප්රතිව්යුහගත කිරීම කරන්න අපට ඒ හරහා පුළුවන් වෙනවා. ලෝකයේ දේශපාලනය දිහා බලනවා නම් එය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
අප මූලිකත්වය දිය යුත්තේ අනාගත පරම්පරාවටයි. ඒ කියන්නේ මිලේනියල්, ජෙන්සිලා වගේ අයටයි. අවුරුදු 15, 16 අය ගත්තොත් මිලයන අටක පමණ පිරිසක් රට තුළ ඉන්නවා. මේ අයට පක්ෂ පිළිබඳ අවබෝධයක් නැහැ. දේශපාලනය ගැන තීන්දුවක් නැහැ. නමුත් මේ අය වැදගත් වනවා.
මේ අකාරයට අලුත් කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. විශේෂයෙන්ම මේ කණ්ඩායම් ගැන සිතිය යුතුයි. මේ කණ්ඩායම් දෙස බලා නව ක්රමවේදය හරහායි, අප ඉදිරියට යා යුත්තේ. පක්ෂයක් හැටියට අප ඒ අය ඉදිරියට ගන්න ඕනෑ.
අද ලෝකය තුළ ජෙන්සිලාගේ සහ මිලේනියල්ලගේ ස්වාභාවය පෙන්වා තිබෙනවා. විශේෂයෙන්ම මේ අය අරගලයෙත් හිටියා. අපේ රටේ විතරක් නොවෙයි බංග්ලාදේශයේ ඇති වුණ අර්බුධයෙත් මේ අය ඉදිරියට ආවා.
මෙහෙම අලුත් කණ්ඩායමක් තමයි, ලෝකයේ ඉදිරියට ඇවිත් තිබෙන්නේ. ඒ කණ්ඩායම පැත්තකට දාලා අපට ඉදිරියට යන්න බැහැ. සම්ප්රදායික ගමන තුළින් ඉදිරියට යාමක් නැහැ. එහෙම කළොත් මේ අලුත් කණ්ඩායම නැති වෙනවා. මේ කණ්ඩායම එකතු කළේ නැතිනම් සාම්ප්රදායික ඡන්ද දායකයින් පවා පැත්තකට වෙනවා.
එතැනදී එක ගැටළුවක් තිබෙනවා. වර්තමානයේදී මොවුන් බලාපොරොත්තු වුණ දේවල් මේ ආණ්ඩුව තුළින් ඉටු නොවුණු නිසා විශාල පිරිසක් විදේශ ගත වීමට ඉඩ තිබෙනවා. ඒ නිසයි, මා යෝජනා කළේ මොවුන්ගේ අදහස්, යෝජනා අනුව අපේ පක්ෂයේ ප්රතිරූපය වෙනස් විය යුතුයි කියා.
ඒ අය දිහා බලනවා නම් ජෙන්සි, මිලේනියල් ලෙස කණ්ඩායම් දෙකක් නිර්මාණය කර ඔවුන්ට වගකීම් ලබාදිය යුතුව තිබෙනවා. අපේ පක්ෂයේ දැනට මේ කණ්ඩායම් වැඩ කටයුතු ආරම්භ කරලා. එහි ඉතා හොඳ ප්රගතියක් පෙනෙන්නට තිබෙනවා.
මේ අයගෙන් කොහොමද පක්ෂය ඉදිරියට ගෙනියන්නේ කියලා මා ඇහුවා. ඒ අය කිව්වේ පක්ෂය ගෙනියන්න ඕන ඔන්ලයින් හරහා කියලයි. එය ඇත්තටම හොඳ ප්රවණතාවක් වනවා. එහෙමනම් ඒ අයගේ අදහස්වලට ඉඩ සලසා දිය යුතුයි. සාම්ප්රදායික විදිහටම ගිහින් ලෝකයත් සමග ඉදිරියට යන්න පුළුවන් වෙයි කියා මා සිතන්නේ නැහැ.
සමහර අය එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වුනොත් දිනන්න පුළුවන් කියනවා. ඒක එහෙම වෙයි යයි කියන්න බැහැ. සියල්ල දැන් වෙනස් වෙලා.
අලුත් පරම්පරාවේ ඡන්දදායකයින් එකතු කරගත්තේ නැතිනම් අප කාටවත් ඉදිරියට යන්න බැහැ. සම්ප්රදාය පැත්තකින් තියා අලුත් විදිහකට ඉදිරියට යමු. මොකද අපට ඕන තරම් කරුණු කතා කරන්න තිබෙනවා.
විශේෂයෙන්ම ජෙන්සිලාගේ සහ මිලේනියල්ලගේ අදහස් යෝජනා ගෙන පසුගිය මාසයේ හරිත පත්රිකාව අප ඉදිරිපත් කළා. දේශපාලනයේ පැවැත්ම තිබෙන්නේ අවුරුදු පහක් වෙනුවෙන් ඉදිරිපත් කරන මැතිවරණ ප්රකාශනයෙන්ද කියා අලුත් පරම්පරාව තුළ ප්රශ්නයක් මතුව තිබෙනවා. මේ අය ප්රකාශ කරන්නේ රට ඉදිරියට යන්න නම් දේශපාලනයට එහා ගිය අවුරුදු 25ක රට ගොඩ නඟන ප්රතිපත්තියක් අවශ්යය බවයි.
සමහර පක්ෂ තවමත් කතා කරන්නේ අවුරුදු පහක ප්රතිපත්ති ප්රකාශයක් ගැන පමණයි. අප කවුරුත් අවුරුදු පහකින් රටක් හදන්න බැරි බව දන්නවා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ආරම්භ කළ විප්ලවය ප්රේමදාස මැතිතුමාගේ කාලය වෙනකන් අවුරුදු 17ක් එක දිගට ඉදිරියට ගෙන ආවා. ඒ හරහා රට ඉතාම හොඳ තැනකට ගෙනෙන්න අපට පුළුවන් වුණා.
මේ ආණ්ඩුවේ අයත් අවුරුදු පහක් වෙනුවෙන් ප්රතිපත්ති ප්රකාශයක් ඉදිරිපත් කළා. එයට සිදුව තිබෙන දෙය ජනතාවට දැන් පැහැදිලිව බලාගන්න පුළුවනි. එහෙමනම් මේ ක්රමය දැන් රටට ගැළපෙන්නේ නැහැ. මීට වඩා අලුත්, ජනතාවගේ විශ්වාසය දිනාගන්න පුළුවන් ප්රතිපත්ති ප්රකාශයක් අප හඳුන්වා දිය යුතුව තිබෙනවා.
ඒ වගේම අපේ හරිත පත්රිකාවේ තවත් විශේෂ දෙයක් පිළිබඳ කතිකාවක් ඇති කළා. ඒ තමයි, ථෙරවාදි ලක්ෂණ සහිත සමාජ වෙළඳ ආර්ථිකය. එය ඇති කරන්නේ කොහොම? ඒ ගැන සාකච්ඡාව දැන් ඇතිව තිබෙනවා.
ඒ වගේම ශ්රී ලාංකේය අනන්යතාවය කියන්නේ කුමක්ද? ඒ ගැන අප හිතන හැටියට නොවෙයි නව පරම්පරාව හිතන්නේ. අප යුද්ධවලට, කැරලි කෝලාලවලට මුහුණ දුන්න රටක් වනවා. නමුත් අලුත් පරම්පරාවට මේ ගැන අවබෝධයක් නැහැ. ඇතැම් අය මේවා දැකලවත්, අත්විඳලවත් නැහැ. ඒ නිසා ඔවුන් මේවා මුල් කරගෙන ඡන්දය භාවිතා කරන්නේ නැහැ.
ඒ වගේම අනිත් වැදගත්ම දේ තමයි බුද්ධාගම ආරක්ෂා කිරීම. දැන් එතැනත් ප්රශ්නයක් ඇතිව තිබෙනවා. ඉදිරියට යන්න නම් මේ ගැන ගැඹුරින් සිතිය යුතුව තිබෙනවා.
මෙතෙක් කල් කළේ සාම්ප්රදායික දේශපාලනයයි. පක්ෂ එනවා, දේශපාලන වේදිකාවේ එකිනෙකාට දොස් පවරා ගන්නවා, පොරොන්දු දෙනවා වගේ බොහොම සාම්ප්රදායික දේවල් පමණයි යයිද රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.






















