කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (24) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස්
අද අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විරැකියාව. මුළු ආසියාවේම ඉහළම ප්‍රතිශතය තිබෙන්නේ ලංකාවට. ඒ කියන්නේ අධ්‍යාපනය ලබාගත් තරුණ පිරිස අතර 43%කට රැකියා නැහැ. රැකියා නැති උපාධිධාරීන් 40,000 ක පමණ පිරිසක් සිටිනවා. මේ තත්ත්වය එන්න එන්නම උග්‍ර අතට පත් වෙනවා.
මේ අය වෙළඳපොළට ඇතුළු වුණත් රැකියා නැහැ. ඒ අතරින් 50% ක් පමණ රටේ රැකියා නැති නිසා විදේශගත වෙන්න සිදුව තිබෙනවා. නමුත් එයත් දැන් ඉතා අසිරු කටයුත්තක් බවට පත්වෙලා. මක් නිසාද යත් විශේෂයෙන්ම බටහිර රටවල් සංචාරක රැකියා සීමා පනවා තිබෙන නිසා.
අපේ රටෙන් වැඩිපුරම විදේශගත වෙන්නේ වෛද්‍යවරු. වෛද්‍ය ක්ෂේත්රයේ පුරප්පාඩු 7,000ක් පමණ තියෙනවා. එහෙමනම් කොහොමද ගුණාත්මක වෛද්‍ය සේවයක් අපේ රටේ ජනතාව වෙනුවෙන් සපයා දෙන්නේ? ඒ වගේම තත්ත්වයක් තමයි විශ්වවිද්‍යාලවල පද්ධතිය තුළත් තිබෙන්නේ. ආචාර්ය සංගමය කියනවා විශ්වවිද්‍යාල නිසි පරිදි පවත්වාගෙන යෑමට ආචාර්ය, මහාචාර්යවරුන් 12,000ක් අවශ්‍ය වෙනවා කියලා. නමුත් දැනට ඉන්නේ 6,000යි. එසේනම් 50%කට ආසන්න පුරප්පාඩු තිබෙනවා.
අද ප්රශ්නය වෙලා තිබෙන්නේ අලුත් විශ්වවිද්‍යාල හදන එක නොවෙයි. තිබෙන විශ්වවිද්‍යාල පිළිගන්න පුළුවන් මට්ටමකින් නඩත්තු කරගෙන යාමයි. ඒ ගුණාත්මකභාවය පිළිබඳ බොහොම දරුණු ප්‍රශ්නයක් මතුව තියෙනවා.
මේකට විසඳුම තමයි රැකියා අවස්ථා පුළුල් කිරීම. ඒ සඳහා ප්රාග්ධනය වියදම් කිරීම අවශ්‍යයි. දැන් අපේ රටේ අයවැය ලේඛනයේ තිබෙන ප්‍රධාන ගැටලුව තමයි මුදල් වෙන් කරනවා. නමුත් ඒ වෙන් කරන මුදල් වියදම් කර ගැනීමට හැකියාවක් නැහැ. ලෝක බැංකුවේ වාර්තාව අනුව ගිය අවුරුද්දේ අයවැය ලේඛනයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කරපු සමස්ත මුදලින් මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට වියදම් කර තිබෙන්නේ 16.4%යි. මේ අවුරුද්ද අවසාන වන විට ගිය අවුරුද්දේ අයවැය ලේඛනයෙන් ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරපු මුදල්වලින් 30% – 40%ක් පමණ ප්‍රතිශතයක් තමයි වියදම් කිරීමට පුළුවන් වන්නේ. එය සුළු ප්‍රමාණයක්. බලාපොරොත්තු වෙන ප්‍රතිඵල කොහෙත්ම ලබාගන්න බැහැ. ඒ විතරක් නොවෙයි. ඒ වියදම් කරන මුදල් පවා ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතා කිසිසේත් නිසි ආකාරයෙන් වටහාගෙන නොවෙයි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ.
රජය තීරණය කරන්න ඕනේ මොන ක්ෂේත්රවලටද ප්‍රමුඛත්වය දෙන්නේ, මොන ක්ෂේත්රයන්ද වර්ධනය කරන්නේ කියලා. ජන ජීවිතයට සමීපම ක්ෂේත්‍ර තමයි හඳුනාගත යුත්තේ. ඒ තුළින් තමයි රැකියා බිහි වන්නේ හා ආදායම් වැඩි කර ගැනීමට ඉඩප්රස්ථා සැලසෙන්නේ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ජනතාවට එදිනෙදා ජීවිතය ආශ්‍රිතව ප්‍රයෝජනවත් ක්ෂේත්‍ර සඳහා වියදම් කරන මුදල වැඩි නොවනවා පමණක් නොවෙයි, තිබුණොත් වඩා අඩු වන ප්‍රවණතාවයක් තමයි අපි දකින්නේ. 2025 දෙවැනි කාර්තුවේ වියදම් කළ මුදල සමඟ සංසන්දනය කරනවා නම් මේ අවුරුද්දේ දෙවැනි කාර්තුවේ වියදම් කරපු මුදල්වල අඩු වීමක් පෙන්නුම් කරනවා. එය සංකෝචනය වීමක්. පුළුල් වීමක් නොවෙයි.
වී ගොවිතැන අපේ ජනතාවට අතිශයින් වැදගත් ක්ෂේත්රයක්. එය ගිය අවුරුද්දට වඩා 15%කින් සංකෝචනය වෙලා. ධීවර කර්මාන්තය 10%කින් අඩු වෙලා. විසිතුරු මත්ස්‍ය ක්ෂේත්රය 61%කින් අඩු වෙලා. ඇඟලුම් 1.4%කින් හා තේ කර්මාන්තය 2%කින් අඩු වෙලා. ඒ කියන්නේ ගිය අවුරුද්දෙයි, මේ අවුරුද්දෙයි දෙවැනි කාර්තුව සංසන්දනය කරනවිට මේ හැම එකකම අඩු වීමක් තමයි තියෙන්නේ. මෙය විකෘතියක්.
මේ තත්ත්වය නිරාකරණය කර ජනතාවගේ ආදායම් වැඩි කර ගැනීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අපි බලාපොරොත්තු වුණා මෙවර අයවැය ලේඛනයෙන්. නමුත් එවැනි කිසිම සඳහනක් අයවැය ලේඛනයේ නැහැ.
ශ්‍රී ලංකා ආර්ථිකයට විශේෂ වැදගත්කමක් තිබෙනවා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තයන්ගෙන්. ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ රැකියා දස ලක්ෂයක් තිබෙනවා. කොවිඩ් කාලයේ කබලෙන් ලිපට වැටුණා. දැන් ඊට පස්සේ පරාටේ නීතිය බැංකු විසින් ක්‍රියාත්මක කිරීම නිසා සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තවලට කිසිසේත් තමන්ගේ වැඩකටයුතු කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ කර්මාන්ත පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් තමයි අද තිබෙන්නේ.
මෙතැනදී වෙන්නේ කුඩා ව්‍යාපාරිකයන් තමන් සතු පොඩි ඉඩමක් බැංකුවකට උගස් කරලා ප්රාග්ධනය ලබා ගන්නවා. ඒ ව්‍යාපාරිකයාගේ අඩුපාඩුවක්, දෝෂයක් නිසා නොවෙයි, රටේ ආර්ථික තත්ත්වය නිසා ඒ මුදල් ආපහු ගෙවලා ඒ ඉඩම නිදහස් කර ගැනීමට ඒ සුළු ව්‍යාපාරිකයාට බැරි වෙනවා. එතකොට ඒ ඉඩම බැංකුවට සින්න වෙනවා. බැංකුව ඊට පස්සේ ප්රවෘත්ති පත්‍ර නිවේදනයක් දාලා ඒක අත්පත් කරගෙන, ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනවා. එතකොට ඒ සුළු ව්‍යාපෘතිය එතනම කඩා වැටෙනවා. ඒකෙන් යැපෙන සේවකයන්ගේ වැටුප් ඊට පස්සේ ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙනවා.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ ආකල්පය, බැංකු පද්ධතියේ ස්ථාවරභාවය ආරක්ෂා කරගත යුතුයි කියන එකයි. ඒ හින්දා පරාටේ නීතිය දිගටම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා කියනවා. නමුත් රජයකට ඒ විදියේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පුළුවන්කමක් නැහැ. ඊට වඩා සානුකම්පිත විදියට මේ ගැටළුව ගැන හිතන්න ඕනේ.
මෙය පහුගිය අවුරුදු දෙක තුළ එන්න එන්නම උග්‍ර වුණු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආදායම්, රැකිරක්ෂා ඒවාට විශාල අහිතකර බලපෑමක් තිබුණා සමස්ත සුළු හා මධ්‍යම පරිමාණ ක්ෂේත්රය තුළ. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා මේකටත් යම්කිසි ප්‍රායෝගික විසඳුමක් ලැබෙයි කියලා මෙවර අයවැය ලේඛනයෙන්. නමුත් එහෙම කිසිම යෝජනාවක් අයවැය ලේඛනයේ අඩංගු වෙලා නැහැ.
අද සමාජයේ විශාල පරාසයක් තුළ ජීවත් වීම අතිශයින් දුෂ්කර දෙයක් වෙලා තිබෙනවා. හතර දෙනෙකුගෙන් සමන්විත පවුලකට අද අත්‍යවශ්‍ය දේවල් සඳහා, එනම් ආහාර වේල් දෙකක්, ඖෂධ, බෙහෙත් එහෙම ලබා ගැනීමේ අවම අවශ්‍යතා සඳහා මාසයකට රුපියල් 94,057ක් වියදම් කරන්න සිදුවෙනවා. නමුත් ආදායම තිබෙන්නේ රුපියල් 75,882ක්. දැන් මේ පරතරය පියවා ගන්නේ ඔවුන් ණය වෙලා. ජීවන වියදම දරුණු ලෙස ඇස් පනාපිට මාසෙන් මාසේ වැඩි වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි උද්ධමනය.
වර්තමාන රජය බලයට එන අවස්ථාවේදී උද්ධමනය තිබුණේ 0.5%යි. මේ අවුරුද්දේ ජූනි මාසයේ 0.6%යි, ජූලි මාසයේ 0.4%යි. ගිය මාසයේ වෙනකොට 8.5%යි. මහ බැංකුවේ අධිපතිතුමා කියනවා උද්ධමනය 9%ට එනවා කියලා. මේ අවුරුද්දේ අගෝස්තු දක්වා රුපියල අවප්‍රමාණය වුණා 6.8%කින්. දැන් උද්ධමනය 9%ට යනවා නම් ඒ අවප්‍රමාණය වීමේ වේගය ඊට වඩා හුඟාක් වැඩි වෙනවා.
පහුගිය අවුරුදු දෙක තුළ යූ. එස්. ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම විශාල ලෙස කඩා වැටි තිබෙනවා. මේ රජය බලයට එනකොට ඩොලරය තිබුණේ රුපියල් 292යි. දැන් රුපියල් 337යි. ඒ කියන්නේ රුපියල් 40ක වෙනසක් වෙලා තිබෙනවා. මේ රටට අවශ්‍ය දේවල් ආනයනය කරන විට ආහාර, ඉන්ධන, බෙහෙත් මේ සියල්ලටම වියදම් කරන හැම ඩොලරයකටම අපිට වැඩිපුර රුපියල් 40ක් පමණ ගෙවන්න සිදු වෙනවා.
මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරලා ඊළඟ දවසේම ලාෆ් ගෑස් මිල ඉහළ ගියා. රට පුරාම ආන්දෝලනයක් ඇති වුණා. ඒ නිසා එහි මිලස්වල්ප අගයකින් අඩු කරන්න සිද්ධ වුණා. නමුත් ඒ අඩු කිරීමෙන් පස්සෙත් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල ඉස්සෙල්ලා තිබුණාට වඩා රුපියල් 1,030ක් වැඩියි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල ඉස්සෙල්ලා තිබුණාට වඩා රුපියල් 410ක් වැඩියි.
මේ අතිශයින් දුෂ්කර තත්ත්වය තුළ සුබසාධන වැඩකටයුතු ඉතාමත් වැදගත් වෙනවා. අපේ රටේ ජනතාවට අද අත්‍යවශ්‍යයි ප්‍රායෝගික සුබසාධන වැඩපිළිවෙළක්. මේ රටේ තිබෙන ප්‍රධාන සුබසාධන වැඩපිළිවෙළ තමයි අස්වැසුම. නමුත් ඒකට වෙන් කරන මුදල වැඩි කරනවා නොවෙයි, ඒ මට්ටමට තියාගන්නවත් නොවෙයි, මේ අයවැය ලේඛනයෙන් ඒ ප්‍රමාණයත් අඩුකර තිබෙනවා.
අද ජනතාව විඳින ආර්ථික පීඩනයේ ප්‍රමාණය පැහැදිලිවම පිළිබිඹු වෙනවා එක්තරා සාක්ෂියකින්. කනකර, මාල, මුදු වැනි දේවල් උගස් කර එදිනෙදා අවශ්‍යතා ලබා ගැනීමට අපේ ජනතාව අද පුරුදු වෙලා තිබෙනවා. ආහාර වේල් දෙකක් තමන්ගේ පවුලට, අත්‍යවශ්‍ය බෙහෙත් ටිකත් ලබා ගැනීම සඳහා මේ කනකර, මාල, මුදු උගස් කිරීම අත්‍යවශ්‍ය තැනකට පත් වෙලා තිබෙනවා. නිසි කාලය තුළ මුදල් ගෙවලා ඒවා බේරා ගැනීමට බැරි නිසා ඒවා සින්න වෙනවා බැංකුවට. ඉතින් මෙන්න මේ විදියේ තත්ත්වයක් තමයි අද රටේ සමාජයේ ඇති වෙලා තියෙන්නේ.
අසමාන්‍ය ප්‍රමාණයෙ ආර්ථික පීඩනයකට අපේ රටේ ජනතාව ලක් වෙලා තිබෙන අවස්ථාවක මහා පරිමාණයෙන් මහජන මුදල් නාස්ති වීමක් තිබෙනවා. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට අද දක්වා රජයෙන් කාට හරි ණය මුදලක් ගෙවන්න තිබෙනවා නම් ඒ ණය හිමිකරුවාට ඒ මුදල දෙවතාවක් ගෙවීමේ සිද්ධියක් ගැන අපි කවදාකවත් අහලා නැහැ. කාට හරි ණයක් ගෙවන්න තියෙනවා නම් ආණ්ඩුවේ මුදලින් ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ මුදල්, විසර්ජන පනතෙන් වෙන් කෙරෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව අනුමත කරනවා. ඒ අනුව ඒ ණය මුදල ගෙවනවා. එක සැරයක් ඒ මුදල ගෙව්වායින් පසු එම ණය හිමිකරුවාටම තවත් වතාවක් ඒ මුදල ගෙවීමට කිසිම නීතියක් යටතේ ඉඩකඩක් නැහැ.
නමුත් එවැනි අද්විතීය සිදුවීමක් සිදු වුණා 2025දී. ඕස්ට්‍රේලියාවේ ආයතනයකට ණය ගෙවන්න තියෙනවා කියලා මහා භාණ්ඩාගාරය ඒ ණය ගෙව්වා. ඊට පස්සේ කියනවා ඒ ණය ලැබිය යුතු පුද්ගලයාට ඒ මුදල ලැබුණේ නැහැ කියලා. එතකොට නැවත වතාවක් ඒ මුදල ගෙවන්න සිදු වුණා. මේ ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් නැවත වතාවක් ඒ රටට ගෙවා තිබෙනවා. අපේ රටේ සල්ලිවලින් නම් රුපියල් ලක්ෂ 8,250ක්.
මේ කාගේ මුදල්ද? මේ රටේ ජනතාවගේ මුදල්. මෙච්චර දුක් විඳින කාලයක මේ විදියේ දෙයක් කොහොමද සිදුවුණේ? ඉතින් ඒකෙන් පේනවා මුදල් කළමනාකරණය පිළිබඳ මූලික ගැටලුවක්, විශාල දුර්වලතාවයක් මේ ආණ්ඩුවට තිබෙන බව. ඉතින් අපි බලාපොරොත්තු වුණා මේ අයවැය ලේඛනයෙන් එහෙම දෙයක් ආයේ කවදාකවත් සිදු නොවීමට වග බලා ගැනීම සඳහා මොකක් හෝ ක්‍රියාමාර්ගයක් ගනිවීයයි කියා. නමුත් එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. ඉතින් ඒකත් අපි දකිනවා මේ අයවැය ලේඛනයේ කැපී පෙනෙන අඩුපාඩුවක් හැටියට.
අපේ රටේ ආර්ථිකයේ අද ප්‍රධාන ගැටලු තුනක් තිබෙනවා. විරැකියාව, උද්ධමනය හා සුබසාධනය. මෙන්න මේ කරුණු තුන සම්බන්ධයෙන් තමයි ප්‍රමුඛත්වය දිය යුත්තේ. මේ අයවැය ලේඛනය සකස් කිරීමේදී මේ කාරණා සම්බන්ධයෙන් ජනතාවට සෙතක් සැලසීම සඳහා මොනවද රජය ගන්නා පියවර? අන්න ඒවා පිළිබඳ රජයේ දැක්ම, දර්ශනය මොකක්ද කියලා බලා ගැනීමට තමයි අපි සියලු දෙනාම පුන පුනා බලා සිටියේ. නමුත් ඒ පිළිබඳ කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැති බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුයි. මෙම මාධ්‍ය හමුවට පාඨලී චම්පික රණවක, අජිත් මාන්නප්පෙරුම සුරේන් රාඝවන්, නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් සහභාගි වූහ.






















