අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් අතුරුදන් – ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය?
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කෙරුණද ඒ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දීමේ නෛතික ගැටලු කිහිපයක් මතුව ඇති බව අපේ ජන බල පක්ෂයේ භික්ෂූන් වහන්සේ අද (10) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළිකළහ.
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ ඥානසාර හිමි මන්ත්‍රී ධුරයට තෝරාගත් බවට මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දීමේ වගකීම ඇති පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව සිටීම ඊට හේතු වී ඇති බවය.
මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවුයේ එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි විසින්, තමන් වහන්සේ පාර්ලිමේන්තුව සඳහා තෝරාගෙන ඇති බවට වූ ලිපියක් මැතිවරණ කොමිසම වෙත යැවීමත් සමගය.
කෙසේවෙතත්, එම පක්ෂයේම සභාපතිවරයා ඇතුළු පිරිසක් එය වලංගු නොවන බවට මැතිවරණ කොමිසමට කරුණු දැක්වූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ සාමාජිකත්වය දරන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නම් කිරීමට එහි මධ්‍යම කාරක සභාව ඊයේ (09) තීරණය කළේය.






















