නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින්, එම අමාත්‍යාංශයට අයත් සියලු රාජ්‍ය ආයතනවල මෙතෙක් පැවති ප්‍රගතිය, ඉදිරි සංවර්ධන සැලසුම් සහ සංවර්ධනය සඳහා වූ නව ක්‍රමෝපායන් විමසා බැලෙන විශේෂ සාකච්ඡාවක් පසුගිය දා බත්තරමුල්ල, සුහුරුපාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස්වලට අනුව මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව වාර්ෂිකව පවත්වන ලබන ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට අමතරව මාසික, තෛයිමාසික, සයමාසික සහ වාර්ෂිකව මෙම රැස්වීම් මාලාව පැවැත්වීමට ද තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
තවද පවත්වනු ලබන එම සාකච්ඡාවලදී සියලු ව්‍යාපෘති පිළිබඳ පෙර හා පසු විපරම් කිරීම, පවත්වන සීමාව තුළ වියදම පාලනය, අපේක්ෂිත ලාභය ඉහළ දමාගැනීම, ව්‍යාපෘතිය නිසිකලට අවසන් කිරීම, ඉහළ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ නිරන්තර අවධානය යොමු කළ යුතු බව දක්වා තිබේ.
ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ඉදිරි සංවර්ධන සැලසුම් සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයට අයත් සියළුම ආයතනවල නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම සාකච්ඡාවේ දී මූලධර්ම, කළමණාකරනයේ නව මංපෙත් සොයා යාම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, රාජ්‍ය ආයතන ජනතාවට වඩාත් හිතකරව සහ ඵලදායීව පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කෙරිණ.
මෙම සාකච්ඡාවේ දී නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ ඕනෑම රාජ්‍ය ආයතනයක් දෙස මහජන ඇස ඉතා විමසිලිමත්ව පවතින බැවින්, රාජ්‍ය ආයතනයක් නාස්තිය අවම කරමින් ලාභ ලබන තත්වයටත් උපරිම ප්‍රතිඵල ජනතාවට ලබාදීමටත් කටයුතු කරන තත්වයකට පත්කළ යුතු බවයි.
“මෙම අමාත්‍යාංශයේ ලේකම්තුමා මෙන්ම මමත් ගණකාධිකාරිවරයෙක්. අපිට අවශ්‍ය වන්නේ මේ අමාත්‍යාංශයේ මූල්‍ය කළමණාකරනය ඉතාමත් ඉහළ තත්වයකින් පවත්වාගෙන යාමටයි. රටේ ජනතාව රාජ්‍ය ආයතන දිහා බලලා ප්‍රකාශ කරන දෙයක් වන්නේ, රටේ මුදල් අපරාදේ නාස්තිවෙනවා කියන චෝදනාවයි. ඒ අතරම මූල්‍ය පාලනය හොඳින් සිදුකරන රාජ්‍ය ආයතන ගාණක් ජනතාව කතා කරනවා. තව වසරකින් දෙකකින් ආපසු හැරිලා බලනකොට විශේෂයෙන් මෙම අමාත්‍යාංශය අපි දකින්න ඕන. ජනතාව කියනවා අහන්න ඕන. ඉතාම හොඳින් මූල්‍ය කළමණාකරනය සිදුකරන පාරදෘශ්‍යභාවය ඉහළින්ම රකින, ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන ආයතනයක්ය කියන කතාවයි. අපි දැනගත යුතුයි රටට, ජනතාවට ප්‍රතිලාභ ලබාදිය හැකි ක්‍රම දෙකක් තිබෙන බව. පළවෙනි ඒක අදාළ ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතිය එම ප්‍රතිපාදන කළාම ඉතාම හොඳින් නිමකිරීමයි. නාස්ති නොකිරීමයි. උපරිම ඵලදායිතාවය ලබා ගැනීමයි. ඒ අනුව අපි ක්‍රියාත්මක විය යුතුයි. මෙම අමාත්‍යාංශය වියදම් කරන මුදල් නාස්ති නොවී උපරිම ප්‍රතිලාභ ලබාගෙන හැකිවන ආකාරයේ වැඩ පිළිවෙලකට යාමයි.
දෙවෙනි එක වන්නේ වැඩි ලාභයක් ඉපැයීමට කටයුතු කිරීම. එසේ කිරීමට හැකි ක්‍රම සොයා බැලීම ආරම්භ කළ යුතුයි. වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් අපේක්ෂිත ලාභය ඉක්මවා ලාභ ලබා ගැනීමේ නව මාර්ග පිළිබඳව විමසිය යුතුයි. ඕනෑම ආයතනයක් පාලනයේ ඉහළට යන විට ගණකාධිකාරී දැනුම පුළුල්ව යොදාගත යුතුයි. වර්ෂයක් අවසානයේ දී පරිපාලනයේ සාර්ථකත්වය මනිනු ලබන්නේ මූල්‍ය වාර්තාවෙන්. මේ දෙය වටහා නොගෙන ඉතා කුඩා ආයතනයක්වත්, දෙපාර්තමේන්තුවක්වත් නිවැරදිව කළමණාකරනය කළ නොහැකියි. විෂය කුමක් වුවත්, අවසානයේ දී යම් ප්‍රතිපාදනයකට අපි වගකිව යුතු වෙනවා. සාර්ථක කළමණාකරන ක්‍රියාවලියකට මුලික කරගත යුතුයි කරුණු තුනක්. ඉන් එකක් වන්නේ නිසි සැලසුමක් ඇතිව වැඩ ඇරඹීම. සැලසුම නිවැරදි නම් කරන්න යන වැඩකොටසෙන් නැත්නම් ව්‍යාපෘතියෙන් භාගයක් අවසන් බව කිව හැකියි.
තුන්වැනි කාරණය වන්නේ සෑම කෙනෙකුම සෑම දෙයක්ම විමසා බැලීම. මෙහිදී නිරීක්ෂණය සහ පරීක්ෂණය වැදගත්. මෙය පෙර විමසුම සහ පසු විමසුම යනුවෙන් හැඳින්විය හැකියි. කළ යුතු වැඩ කොටස පිළිබඳව සහ වැඩ කරන දිනයේ කළයුතු රාජකාරීන් පිළිබඳ නිරතුරුවම ක්‍රියාකාරීව සිටීම.”
යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පැවසුවේ අද දින පවත්වනු ලබන මෙම සාකච්ඡාව සැලසුමකට අනුව පියවරෙන් පියවර පැමිණි ගමන් මඟ ජයග්‍රාහි අවස්ථාවක් වන බවයි.
“මෙය ප්‍රගති සමාලෝචන රැස්වීම් අතරට ලබාදුන් අලුත් හඳුන්වාදීමක්. මේ සියල්ල අපි ඇරඹුවේ නව ගමනක්, නව වැඩපිළිවෙළක් යන තේමාව යටතේ. අපි අද සාර්ථකව පියවර තබන්නේ ඒ නිසයි. මේ අමාත්‍යාංශය ඇරඹූ නව වැඩපිළිවෙළක් වූයේ, මෙතෙක් පැවති ගිණුම්වලට නවීකරණ වැඩපිළිවෙළක් සකසා එහි මෙතෙක් පැවති ක්‍රමය උසස් කිරීමට සහ වැඩි දියුණු කිරීමට පියවර ගැනීමයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ 2015 න් පසු හිටපු අය ඉදිරිපත් කළ සෑම ගිණුම් ප්‍රකාශයක ම වගේ අඩුපාඩු සහිත වුණා. 2019 දී අපි ඒ ගිණුම් නැවත සකස් කරලා ආයතන සියල්ලක්ම අලුතෙන් සකස් කළා. ඒ සමඟ ම ඉදිරියට අඩුපාඩු සිදුවීමට තිබු අවස්ථාව නැතිකර දැම්මා. ඒ අතරට කළ තවත් දෙයක් වුණේ එම කාලය ඇතුළත ආයතන කිහිපයක ම තිබූ අඩුපාඩු, දෝෂ සහිත ගිණුම් වාර්තා නැවත අලුතින් සකස් කර නිවැරදි කිරීමයි. මේ වන විට ආයතන 11 ක් ඉතාම ඉහළ තත්වයකට ගෙන ඒමට අපට හැකිවී තිබෙනවා”
යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කර සිටියේය.






















