අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අපරිමිතයි !
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, ත්‍රිපිටක විශාරද අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන්ගේ අපවත්වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය පළ කර සිටින්නෙමු.
1933 ජනවාරි 23 වැනි දින මිනුවන්ගොඩ, කොටුගොඩ ග්‍රාමයේ දී උපත ලැබූ උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත්ව ඇත්තේ 1948 අගෝස්තු 17 වැනිදා ය. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණෝ සිය 73 වසරක පැවිදි දිවිය තුළ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ කාරක සංඝ සභික, අනුනායක ලේඛකාධිකාරී, මහා නායක යන ධුරයන් දරමින් මහෝපාධ්‍යාය, ත්‍රිපිටක විශාරද ගෞරව නාමයන් ලබමින් 2017 දී අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහා නාහිමිපාණන්ගේ අපවත්වීමෙන් අනතුරුව උත්තරීතර මහා නායක ධුරයට පත්වූහ.
උන්වහන්සේ ප්‍රකටව සිටියේ ලොව පුරා ධර්ම ප්‍රචාරණයෙහි යෙදුණු මහා යතිවරයාණන් වහන්සේ නමක් ලෙසිනි. ඉන්දියාව, නේපාලය, චීනය, ජපානය, ජර්මනිය, එක්සත් ජනපදය, රුසියාව, සිංගප්පූරුව, බුරුමය, තායිලන්තය, පාකිස්ථානය හා මොංගෝලියාව යන රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණු අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේ බුරුම රජයෙන් අග්ග මහා පණ්ඩිත ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.
1960 පමණ සිට බෞද්ධ ග්‍රන්ථකරණයට පිවිසි උන්වහන්සේ ධර්ම දානය පිණිස රචිත ග්‍රන්ථ ප්‍රමාණය 36කි. මේ සියලු කරුණු මැනවින් අප හමුවෙහි අවධාරණය කරනුයේ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහා ඉටුකළ අපරිමිත මෙහෙවර ය. උන්වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහා මෙන්ම අප ජාතියෙහි උන්නතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ද අනුපමේය බැව් කෘතවේදීව සිහිපත් කළ යුතුය. අවසාන වශයෙන් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන්ට අජරාමර නිර්වාණ සම්පත්තිය පතන්නෙමු!






















