පැල්මඩුල්ල පහළඅමුණ උඩතුල ප්‍රදේශයේ කිරිදිඇල අමුණේ තිබී පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 16ක් වන පන්සල පාර, බැරැන්ඩුව, ලෙල්ලුපිටිය පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.
ඔහු එම ප්‍රදේශයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් බවට අනාවරණය වුණි.
එම පාසල් සිසුවා පසුගිය 26වනදා ලෙල්ලුපිටිය ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් දෙමාපියන් විසින් පසුගිය 27 වනදා රත්නපුර පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇත.
ඊයේ (28) මළසිරුර හමුවීමක් සමග පොලීසිය කළ වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එම සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග පසුගිය දිනක ජලාශයක දිය නෑමට ගොස් ඇති බවය.
එහිදී එම සිසුවා දියේ ගිලී අතුරුදන්වී ඇති අතර ඔහු සමග දිය නාමින් සිටි අනෙක් සිසුන් මේ සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොකියා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලීසිය පවසයි.
එම සිසුවා අතුරුදහන්වීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොකියා එම ස්ථානයෙන් පිටව යාම සම්බන්ධයෙන් අදාළ සිසුන් තිදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















