ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම ඡන්දය භාවිත කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
එහෙත් පාර්ලිමේන්තුව තුළ තවදුරටත් ඡන්ද මත පදනම්ව තීරණ ගැනීම වෙනුවට එකඟතාවයෙන් තීරණයකට එළඹීම සඳහා සියලු බලපෑම් සිදුකරන බව ඔහු සඳහන් කළේය.
අද (19) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සහය පළකරන පාර්ශවය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බව ද දයාසිරි ජයසේකර මහතා පැවසිය.
“විශේෂයෙන් ඩලස් අලහප්පෙරුම මහත්තයා සහ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක මැතිතුමන්ලා තුන්දෙනාම සාකච්ඡා කරලා, මේ ප්රශ්නය සටනකට යන්නේ නැතිව බේරගන්න පුළුවන් තැනකට මේක ගේන්න කියලා. එක්කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා වෙලා දෙවැනි කෙනා අගමැති වෙලා අනෙක් අය ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට ආවොත් මේ ප්රශ්නය ඡන්දයකින් තොරව බේරගන්න පුළුවන් තැනකට ගේන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් යම් එකඟතාවයකට එන්න ඕනේ කියන කාරණය. අපි කියන්නේ පාර්ලිමේන්තුව තුළ තවදුරටත් ඡන්ද පෙට්ටි තියලා කරන දේශපාලනය නවත්වන්න කියන කාරණය. එහෙම නොවෙනවා නම් අපි ඡන්දය නොදී වර්ජනය කරනවා කියන කාරණය තමා අපි කිව්වේ. ඒ හැර වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඡන්දය නොදී ඉන්නවා කියන කාරණය නෙමෙයි. අපි ඒ සඳහා කරන්න පුළුවන් අවසාන බලපෑම අපි කරනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලන්නේ යම්කිසි විදියකට මේ සියලුදෙනා එක්ක සාකච්ඡා කරලා, එක තීන්දුවකට එන්න. අපි අනිවාර්යයෙන්ම ඡන්දය පාවිච්චි කරනවා.”






















