Monday, August 17, 2026
HomeNEWSඅනුරාධපුර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරේ.

අනුරාධපුර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරේ.

අනුරාධපුර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරේ.

නිවාස නොමැති කොළඹින් බැහැර ජන කොටස් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහන් මාලාව තවදුරටත් පුළුල් කරමින් මධ්‍යම පාන්තික ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබාදීමේ නව නිවාස ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පසුගිය දා අනුරාධපුර නගරයෙන් ආරම්භ කෙරිණ. 

අනුරාධපුරය, හයවන හරස් වීදිය, අභයපුර අංක 01සඳහන් පරිශ්‍රයේ මෙය ඉදිකෙරෙන අතර එහි සිට අනුරාධපුර නගරයේ සියලු ස්ථානවලට පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරෙන ඉඩම පිහිටා ඇත.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 10 කින් සමන්විත වෙයි.

ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, නාගරික සංවර්ධන,වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා,සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා,ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.පී.එස්. කුමාරසිංහ,උද්ධික ප්‍රේමරත්න, ඉෂාක් රහුමාන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ඒකක ඉදිකිරීම ආරම්භ කෙරිණ. 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමති එස්.එම්. රංජිත් යන මහත්වරුන් සහ දේශපාලඥයින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය. 

මෙම අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ අපි ආරම්භ කළ මැදි ආදායම් නිවාස ව්‍යාපෘතියේ දහවන ව්‍යාපෘතිය මෙය වන බවයි.

“අපි කැබිනට් අනුමැතිය ගත්තා මෙවැනි නිවාස 5,000 ක් ඉදිකිරීමට. එම ව්‍යාපෘති විශේෂත්වයකින් යුක්තයි. ඒ විශේෂත්වය වන්නේ මේවා සම්පූර්ණයෙන් ම තරුණ වෘත්තිකයන් අරමුණු කරගෙන කරන නිවාසවීමයි.  මැදි ආදායම්ලාභීන් අරමුණු කරගෙන ඉදිකෙරෙන නිවාස. අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකරන නිවාස. අද නැවත මේ ගොඩනැගෙන්නේ පහුගිය රජය ප්‍රමාද කළ සහ නවතා දැමූ නිවාස ව්‍යාපෘති. මේ පාන්තිකයන් වෙනුවෙන්, මේ තරුණ අය වෙනුවෙන් අපි මේ නිවාස හදනකොට අපි ඔවුන්ට දීර්ඝකාලීන ණය මුදලකුත් ලබා දෙනවා. ඒ රාජ්‍ය බැංකු සමඟ සම්බන්ධවීමෙන්. පොළිය 6.25% යි. අවුරුදු 25 කට වැඩි කාලයක් සහනදායි විදිහට ගෙවීමේ පහසුවත් එක්කයි මේ නිවාස ලබාදෙන්නේ. රජයේ විශ්වාසය ජනතාවගේ මූලික ප්‍රශ්නය වන නිවාස ප්‍රශ්නය විසඳීම. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ තියෙන රාජ්‍ය අමාත්‍යාංශවල මූලික අරමුණ මේ අවුරුදු පහ ඇතුළත නිවාස 125,000 ක් සාදා නිමකර ලබාදීම. එයයි අපේ සැලසුම. පසුගිය කාලයත් සමඟ සංසන්දනය කරන විට මෙය විශාල වෙනසක්. විශාල සංවර්ධනයක්. විශාල ඉදිරි ගමනක්. නිවාසවලට අමතරව අපේ රජය ඉන් පිටත සංවර්ධන කටයුතුවලත් විශාල වෙනසක් ඇතිකරමින් ගමනක් අරඹලයි තියෙන්නේ. මාර්ග සංවර්ධනය, රෝහල්, පාසල්, වැව් සහ වාරිමාර්ග ඒවායින් කිහිපයක් පමණයි. ඒවා කතාවලට පමණක් සීමානොවී ඇත්තට ම ක්‍රියාත්මකයි. පසුගිය රජය හා අපේ රජය අතර වෙනස මේකයි. ඔවුන් ජීවත් වුණේ හැමදාමත් බොරුවෙන්. අපේ රජය ජීවත් වෙන්නේ හැමදාමත් සත්‍යයෙන්. ඒ රජයේ 2015 – 2019කාලයේ මේ රටේ කිසිම සංවර්ධනයක් සිදු නොවුණේ ඔවුන්ගේ බොරුවෙන් ජීවත්වීමේ ක්‍රමය නිසයි. ඒ නිසයි 7%ක සංවර්ධනය වේගවත්ව තිබුණු මේ රටේ සංවර්ධනය පහළට වැටුණේ. අද ඔවුන් විපක්ෂය ඉඳගෙන බොරු කිය කිය ඉන්නෙ ඒ නිසයි.”

යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කර සිටියේය.

අනුරාධපුරයට මෙවන් නිවාස ව්‍යාපෘතියක් ලබාදීම පිළිබඳව ස්තුතිවන්ත වන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

“අපිට අපේ රටේ ජනතාවට සේවය කරන්න, වැඩ කරන්න තිබුණු අවුරුදු 05 ක් පසුගිය කාලේ අපිට අහිමි වුණා. මගේ ඉල්ලීමට වත්මන් අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි 2014 කාලයේ අනුරාධපුරයේ සංවර්ධනය අරඹන්නට කටයුතු කළත් මැතිවරණයෙන් බලය මාරු වූ නිසා ඒ සංවර්ධනය අවුරුදු 05 කට අහිමි වුණා. ඒ අහිමි වූ අවුරුදු 05 අපිට තිබුණානම් අනුරාධපුර සංවර්ධනය අද සම්පූර්ණයි. පිරිසක් එකතුවෙලා කුමන්ත්‍රණය කළා ජනතාව රැවැට්ටුවා, ජනතාව රැවටුණා. එහෙම කරලා කරපු පාඩුව මේ රටට කළේ විශාල හානියක්. ඒ සංවර්ධන ක්‍රියාවලිය තමයි අද ආරම්භ කෙරෙන්නේ. අනුරාධපුරයට විශාල සැලකිල්ලක් තියෙනවා අපේ අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන්. එතුමන්ලා හම්බන්තොට දිස්ත්‍රික්කයට වඩා වැඩිපුර එන්නෙ අනුරාධපුරයට. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ,රුවන්වැලි සෑරදුන් වැඳපුදාගන්න, අටමස්ථානය වැඳපුදාගන්න. සාමාන්‍යයෙන් අටමස්ථානයේ හිමිවරුන් ඇතුළු උන්වහන්සේලා මේ වගේ උත්සවවලට වඩින්නේ නැහැ. නමුත් එතුමන්ලාගේ ඇති ආගමික ගෞරවය නිසා තමයි මේ උත්සවයට හේතුවුණු කාරණාවේ වටිනාකම් අවබෝධ වූ නිසා. ඒ මේ මධ්‍යම පාන්තික නිවාස 135රජයෙන් හදන නිසා. මේ පූජා භූමිය හැම අතින් ම ගෞරවනීය වෙනවා. අපේ අතීත රජවරු ගරු කරපු පූජනීය භූමියක්, උදාර භූමියක් තමයි මේ භූමිය. කොළඹ වගේ ම රටේ අනිත් නගර දියුණු වන විට ඒ හැම එකකටම වඩා ඉහළින් දියුණු විය යුතු ප්‍රදේශයක් තමයි අනුරාධපුරය. කොළඹ පෝට් සිටි  හැදෙනවිට ඊට සමගාමීව අනුරාධපුරයත් හැදෙන්න අවශ්‍යමයි. ජනාධිපතිතුමා,අගමැතිතුමා වගේ ම රාජ්‍ය අමාත්‍යතුමාත් ඒක හොඳට තේරුම්ගෙන සිටිනවා.”

යනුවෙන් ද ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා,ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ යුද්ධය අවසන් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලබා දුන් සහායට නොදෙවෙනි සහයක් නාගරික සංවර්ධන අධිකාරිය මේ රට සංවර්ධනය කිරීමට ලබාදෙන බවයි.

“වර්තමාන අතිගරු ජනාධිපතිතුමා එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටිය දී ඒ සහාය ලබා දුන්නා. අවාසනාවකට 2013 – 2014 වසරවල ඇති කරපු සංවර්ධනය සහ ලෝකයේ වේගවත් ම සංවර්ධනය වන නගරය ලෙස සම්මාන ලැබූ කොළඹ නගරය මූලික කරගත් ඒ සංවර්ධන කටයුතු 2015න් පසු කඩාගෙන වැටුනා. ඒ අනුව 2015 න් පසු නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ කතාවලට පමණක් සීමා වුණා. ඒ අතර ම දේශපාලන අධිකාරිය තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න නාගරික සංවර්ධන අධිකාරියත්, ඒකෙ සම්පතුත් පාවිච්චි කළා. අද ඒ ත්ත්ත්වය නෑ. අද ඒක අපිට සතුටට කාරණයක්. නාගරික සංවර්ධන අධිකාරිය අයිති අමාත්‍යතුමා වෙන්නේ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට අතිගරු ජනාධිපතිතුමා භාර දුන්නු වගකීම සහ ජනතාව භාර දුන්නු වගකීම ගැන බලද්දි ඒ අපේක්ෂා ඉටු කිරීමට එතුමා ගන්න වෙහෙස මහන්සිය මල්ඵල ගන්වන හැටි අපිට පේනවා. විශේෂයෙන් ම අපි සතුටු විය යුතුයි අද අනුරාධපුරයේ ක්‍රියාත්මක වන විශේෂ ජනතා ව්‍යාපෘතිවල මූලාරම්භය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි 2013 – 2014 කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති නිසා. 2015 න් පසුව ඒ ව්‍යාපෘතිවලට දේශපාලන බලධාරීන්ගේ වෙනස්කම්වලට මුහුණ දෙන්න වුණා. කියන්න සතුටුයි අද ඒ වෙනස්කම්වලින් ඈත්වෙලා ක්‍රමවත්ව ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කය වගේ ම මුළු ලංකාව පුරාම.”

යනුවෙන් ද සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට රජයක් විදියට මැදිහත්ව අනුරාධපුරයට මේ වගේ නිවාස 135 ක් ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේය.

“මෙයට පෙර රජයෙන් හැදුනේ දුම්රිය දෙපාර්තමේන්තුව,සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ ආයතනවලට නිල නිවාස. ඒ ඉතිහාසයේ යුගයක්. අද ඒ ඉතිහාසය වෙනස් වෙලා මැදි ආදායම්ලාභීන්ට, අඩු ආදායම්ලාභීන්ට. සාමාන්‍ය ජනතාවට නිවාස සාදා දීමේ යුගයක් තමයි මේ ඇවිත් තියෙන්නේ. මේ අද ක්‍රියාත්මක කරන්නේ අනුරාධපුරයේ මැදි ආදායම්ලාභීන්ගේ නිවාස ව්‍යාපෘතිය. මේ අටමස්ථානය සහ අනුරාධපුරය යන නගර දෙක පිළිබඳව අප සැලසුම් සකස් කර තිබෙනවා. මේ නගර දෙක කේන්ද්‍ර කරගනිමින් අටමස්ථාන පූජා භූමිය සහ අනුරාධපුර වාණිජ නගරයේ අනන්‍යතාවය සුරැකෙන පරිදි සංවර්ධන කටයුතු කිරීම ඒ සැලසුමට ඇතුළත්. ඒ ගෞරවනීය කටයුත්තේ පළමු පියවර තමයි අද මේ ඇරඹෙන්නේ.”

යනුවෙන් ද අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේය.

අනුරාධපුර නගරයට ඇවිදින දුරකින් පිහිටි අක්කර 01පර්චස් 66 ක ඉඩමක මෙම නිවාස ඉදිකෙරේ. මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් වූවකි.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවන නිවාස වර්ග දෙකකට අයත් වේ. ඉන් එක් වර්ගයක් වර්ග අඩි 900 කින් සමන්විතයි. නිදන කාමර 03 ක්, මුළුතැන්ගෙයක්, නාන කාමර 03 ක්, ගබඩා කාමරයක් ඇතුළත් නිවාස 54 ක් මේ යටතේ ඉදිකෙරේ.

දෙවෙනි වර්ගයේ නිවාස වර්ග අඩි 700 කින් සමන්විත වෙයි. ඒයට නිදන කාමර 02 ක්, මුළුතැන්ගෙයක්, නාන කාමර 02 ක්, පොදු හිස් අවකාශයක් ද ඇතුළත් වෙයි. ඒ යටතේ ඉදිවන නිවාස ගණන 81 ක් වන අතර ව්‍යාපෘතියේ මුළු නිවාස සංඛ්‍යාව 135 කි.

වැඩ අරඹා, වසර 1 1/2 කින් වැඩ අවසන් කිරීමට නියමිත මෙම නිවාස ව්‍යාපෘතියේ වාහන 135 කින් යුත් නේවාසික රථගාලකින් සහ අමුත්තන්ගේ රථගාලකින් ද යුක්තයි.

නිවාස ව්‍යාපෘති පරිශ්‍රයේ මුළු භූමි ප්‍රමාණය වර්ග අඩි 16, 700 කි. රුපියල් මිලියන 01 ක අත්තිකාරම් මුදලක් පළමුව ගෙවා පදිංචි විය හැකි අතර, ගිවිස ගන්නා නිශ්චිත කාලයක් තුළ ඉතිරි මුදල් ගෙවීමෙන් පසු නිවසේ හිමිකම පවරා දීමට නියමිතයි.

සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගම මෙම නිවාස ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි. නිවාස ව්‍යාපෘතියේ උපදේශකවරු ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කටයුතු කරන අතර නාගරික සංවර්ධන අධිකාරිය නිවාස ව්‍යාපෘති ඉදිකිරීම මෙහෙයවයි. මෙහි සම්පූර්ණ ආයෝජන රුපියල් මිලියන 1,600 කි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සමස්ථ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img