දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරුකිරීම සඳහා මේ මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වමින් වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත්කරන ලෙස ද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.
මෙම පෙත්සම අද (26) අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ දී එම නියෝගය කරනු ලැබීය.
මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පිළිබඳව කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් පසුව එය ලබන 30 වනදා කැඳවීමට නියෝග කර තිබේ.






















