ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුටත් අවසර දී නෑ – ජනපති
ජනතාව පීඩාවට පත්කරන ගැටලුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙල රජය ඉදිරිපත්කර ඇති බවය.
ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේද සැබෑ ජනතා ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම්දීමට බවත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් නැති පිරිසක් අද ඊට පහර ගසමින් සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කුමන බාධක සහ විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල අඩපණ නොකරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බොරු ප්‍රචාරවලින් ජනතාව මුලාකිරීමට ඉඩදිය නොහැකි බවය.
ඊයේ පස්වරුවේ නුගේගොඩ වැලිපාර්ක් උද්‍යානයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
වත්මන් රජයට මුහුණදීමට සිදුව ඇත්තේ මෙම යුගය තුළ ඇති වූ ගැටලුවලට නොව පසුගිය ආණ්ඩු සමයේ ඇති කළ ගැටලුවලට බව පෙන්වාදෙන ජනාධිපතිවරයා පවසන්නේ එදා ආණ්ඩුවේ සිටි අයම අද රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරත වන බවය.
ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නොමැති අතර විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් සිදුවන බවට බොරු ප්‍රචාර ගෙනයමින් සිටින බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.






















