පක්ෂය තුළ යම් වෙනස්කම් රාශියක් ඉටුකරමින් නූතන පරම්පරාවට ගැලපෙන දේශපාලන බලවේගයක් බවට පක්ෂය වෙනස්වෙමින් පවතින බව පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2024.11.11) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,“ජනාධිපතිවරණයක් අවසන්වෙලා අපි පාර්ලිමේන්තු මැතිවරණයකට මූහුණදෙන වෙලාවක්. ඒ වගේම පහුගිය ජනාධිපතිවරණයේදී අපි පක්ෂයක් විදිහට අභියෝගවලට ඊට පෙර සිට මුහුණ දුන්නා. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව කාලයේ ගත්තු ණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ කරපිට වැටුණා. විදුලිබල පද්ධතියට එක මේගාවොට් එකක්වත් එකතු කළේ නැහැ. ඒ නිසා විදුලි අර්බුදයද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාලයේ ගොඩනැගුණා. පාස්කු ප්‍රහාරයත් එක්ක කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය හිස ඔසවාගෙන එන අවස්ථාවේ කොවිඩ් වසංගතයත් ඇතිවුණා. ඒ අනුව රටේ අවංකව අරගල කළ පිරිසක් හිටියා. ඒ වගේම ඒ අරගලයෙන් දේශපාලන වාසි ලබාගත්ත පිරිසක් හිටියා. ඒ අනුව දේශපාලන වාසි ලබාගත්තු පිරිස ජයග්‍රහණය කළා. අද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බවට පත්වෙලා තිබෙනවා.ඒ කාරණා කෙසේ වෙතත් පක්ෂයක් විදිහට අපි නැවත ගොඩනැගෙමින් පැවතියා මෙන්ම, ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා ඉතාම කෙටි කාලයක් තුළ. අපි පැහැදිලිවම පක්ෂයක් විදිහට අපේ අරමුණු ඉෂ්ටකරගත්තා ජනාධිපතිවරණ මැතිවරණ වෙලාවේ. අද වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වෙලා තිබෙන ඉරණම දැක්කාම සහ එක්සත් ජාතික පක්ෂයට අත්වෙලා තිබෙන ඉරණම දැක්කාම අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට ඉතාමත් ශක්තිමත්ව මේ මැතිවරණයට මුහුණදෙනවා. ඒ වගේම අපේ පාක්ෂිකයාට, අපේ ශාඛා සමිතියට, බල මණ්ඩලයට , අපේක්ෂකයන්ට අනාගතය ගොඩනගන්න පුළුවන් දේශපාලන බලවේගයක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වෙමින් පවතිනවා. මේ මැතිවරණය තුළ අපේ පක්ෂය ඇතුලේ යම් වෙනස්කම් රාශියක් ඉටුකරමින් නූතන පරම්පරාවට ගැලපෙන දේශපාලන බලවේගයක් බවට පක්ෂය වෙනස්වෙමින් පවතිනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අවස්ථාවේ වෙනස ,අපේ පක්ෂය ඇතුලේ ඒ අභ්‍යන්තරව ගත්ත තීන්දු තීරණ වගේම පහුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද නොදාන්න ගිය බොහෝ පාක්ෂිකයෝ නැවතවතාවක් ඡන්ද පොලට යන ප්‍රවණතාවයක් අපි දැක්කා.මේ පාර්ලිමේන්තු මැතිවරණය තුළ ඉතාම තරුණ කණ්ඩායමක් අපි අපේ මැතිරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් අහන්න පුළුවන් ඇයි ජ්‍යෙෂ්ඨයෝ ඉල්ලන්නේ නැත්තේ කියලා? විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන ගාමිණි ලොකුගේ මැතිතුමාට කොළඹ දිස්ත්‍රික්කයේ එතුමා අලුත් කණ්ඩායමකට අවස්ථාව දුන්නා වගේම ඒ කණ්ඩායම පහුගිය අවුරුද්ද දෙක තුන ඇතුලත පුහුණු කළා, ඒ වගේම සීබී රත්නායක මැතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්, චමල් රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කය වගේම සිරිපාල ගම්ලත් මැතිතුමා පොලොන්නරු දිස්ත්‍රික්කයට අලුත් කණ්ඩායමට අවස්ථාව දුන්නා. මොවුන් පහුගිය ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වෙන්නෙ නැහැ කියන කාරණයත් සමඟම ඒ සඳහා නව නායකයෝ මේ දිස්ත්‍රික්ක වලින් බිහිකල යුතුයි කියන මතයේ සිටගෙන අලුත් කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටිනවා. අලුත්වුණු පොහොට්ටුව තුළ අවුරුදු 40 ට අඩු අපේක්ෂකයන් 103 ක් ඉන්නවා. ඒ වගේම සමස්ථයක් වශයෙන් අවුරුදු 50 ට අඩු සියලුම අපේක්ෂයන් 164 ක් අපේ පක්ෂයෙන් ඉදිරිපත්වෙලා සිටිනවා. ඒ අය අතර කාන්තා අපේක්ෂිකාවන් ජාතික ලැයිස්තු ඇතුළු 24 ක් ඉදිරිපත්වෙලා තිබෙනවා. මේ අනුව ප්‍රතිශතයක් විදිහට ගත්තොත් සමස්ථ අපේක්ෂකයන්ගෙන් 62% ට ආසන්න ප්‍රමාණයක් අවුරුදු 50 ට අඩු තරුණ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අනුව අපි ප්‍රතිපත්තිමය දේශපාලනය කරන දේශපාලන බලවේගයක්. වෛරය, ක්‍රෝධය , ඊරිසියාව, කුහකත්වය කේන්ද්‍ර කරගෙන යන දේශපාලන බලවේගයක් නොවේ. අපි මේ රටේ අනාගතවාදීව ඊලඟ පරම්පරාවට මේ රට ගොඩනැගිය යුතුයි කියන මතය වගේම දැක්මක් එක්ක දේශපාලනය කරන කණ්ඩායමක්. එදා ජනාධිපතිවරණ මැතිවරණය වෙලාවේ නොයෙක් හේතුන් නිසා සමහර පිරිස් ඡන්දය දාන්න ගියේ නැහැ. ඒ වගේම තවත් සමහරු වෙනත් දේශපාලන බලවේගවලට ගියා. කෙටිකාලයක් තුළ අපේ කඳවුරේ ඡන්ද ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අත්වැල් බැඳගත්තා, ඔවුන්ගේ ප්‍රතිපත්ති වමේ දේශපාලනිකව හෝ ආර්ථික ප්‍රතිපත්ති නොවුනත්. මේ කාරණත් එක්ක පසුබෑමකට ලක්වුණා. නමුත් අද නැවතවතාවක් හැම දිස්ත්‍රික්කයකම පහුගිය ජනාධිපතිවරණයේදී අපිට ඡන්දය පාවිච්චි නොකළ බොහෝ පිරිස් අපේ පක්ෂය සමඟ නැවතවතාවක් අත්වැල් බැඳගනිමින් සිටිනවා. ඒ අනුව අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා අපේ අපේක්ෂක කණ්ඩායම නව මුහුණුවරක් එක්ක මේ මැතිවරණය තුළ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් නියෝජනය කරන්න අපට හැකියාව ලැබෙයි කියලා. අපි ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේ. අපිට පැහැදිලිවම වැඩපිළිවෙලක් තිබෙනවා. අද වර්තමාන ආණ්ඩුව දිහා බැලුවාම ඔවුන් මැතිවරණ වේදිකාව තුළ කියපු බොරු පොරොන්දු ඉෂ්ටකරගන්න විදිහක් නැතිව අද කෙදිරිගානවා. ඔවුන් මැතිවරණ වේදිකාවේ ප්‍රසිද්ධ වෙන්න කියපු සියලු කාරණා අද ඒ බොරු බවට ඔප්පු කරගන්න විදිහක් නැතිව අද සමාජයේ පරිවර්තනය වෙලා තිබෙනවා. රටේ වෙනසක් හොයාගෙන මාලිමාව සමඟ සම්බන්ධවෙච්ච සමහර අවංකව වෙනසක් කළයුතුයි කියලා විශ්වාස කරපු සමහර තරුණ සහ උගත් බුද්ධිමත් කියන දේශපාලඥයොත් බොරුකාරයෝ බවට පත්වෙලා සිටිනවා අද මේ ජනතා විමුක්ති පෙරමුණේ බොරු දේශපාලනය තුළ. අපි ආණ්ඩුවෙන් පැහැදිලිව අහන්නේ ඔබ මේ රටේ තරුණ ප්‍රජාවට රැකියා උත්පාදනය කිරිම සඳහා ගන්නා වැඩපිළිවෙල කුමක්ද? ආර්ථිකමය වශයෙන් මේ රට ඉදිරියට අරගෙන යන්න මේ ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? එය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල නම් එය ක්‍රියාත්මක කරන්න ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද? මේ අනුව පහුගිය කාලසීමා තුළ ආණ්ඩුව කියපු බොරු අද ආණ්ඩුව විසින්ම තමන් අවබෝධයෙන් ප්‍රකාශ කළා කියන තැනට වැටිලා තිබෙනවා. මේ මැතිවරණය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි වැඩකරපු දේශපාලන පක්ෂයක්. අපි මේ රටේ උතුරත් දකුණත් යාකරපු පක්ෂයක්. ජාතීන් අතර අසමගිය ඇතිකරලා රට බෙදන්න උත්සහ කරන දේශපාලන පක්ෂයක් නොවේ. අපි පැහැදිලිව ඒකීය රට ආරක්ෂා කළයුතුයි. ඒ අනුව මම ගෞරවයෙන් අපේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඡන්ද පොලට යන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙනුත්, ඔබ විශ්වාස කරන, ඔබ නියෝජන කරන්න පුළුවන් , ඔබේ හඩ පාර්ලිමේන්තුවේ අවදි කරන්න පුළුවන් ඔබේ මන්ත්‍රිවරු පත්කරලා පාර්ලිමේන්තුවට යවන්න කියලා ගෞරවනීය ආදරණීය ඉල්ලීම කරනවා. ”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය. එතුමා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් -: අපි පිළිගත් දේශපාලන පක්ෂයක් සහ දේශපාලන ස්ථාවරයක් වගේම ප්‍රතිපත්තියක් තිබෙන දේශපාලන පක්ෂයක්. අපි දකිනවා සමහර අවස්ථාවලදි නායකයෝ අලුත් පක්ෂ ගොඩනගනවා තමන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්න. තවත් සමහරු ස්වාධීනව ඉල්ලනවා තමන්ට පාර්ලිමේන්තුවට එන්න ඕන වුණාම .එසේ නැතිනම් තමන්ට ඉල්ලලා දිනාගන්න පුළුවන් කියන තැනට ගිහිල්ලා දේශපාලනය කරනවා. හැබැයි අපි පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරන කණ්ඩායමක්. අපි එක පුද්ගලයෙක් හෝ දෙන්නෙක් පාර්ලිමේන්තුවට ගේන්න උත්සහ කරන, නැතිනම් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න උත්සහ කරන දේශපාලන බලවේගයක් නොවේ. අපි මේ රට ගොඩනගපු දේශපාලන බලවේගයක්. ඒ වගේම ඉදිරි කාලසීමාව තුළත අපේ පක්ෂය තුළ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ක්‍රියාත්මක වෙන්නේ. ඔය කියන චෝදනා තිබෙන බොහෝ පිරිස පහුගිය ජනාධිපතිවරණයේදී අපේ පක්ෂය අතහැරලා ගියා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව වට්ටන්නත් ඔය කියන බොහෝ පිරිස් මැදිහත් වුණා. ඒ නිසා වර්තමාන ආණ්ඩුවට පුළුවන් ඒ චෝදනා පිළිබඳව විශේෂයෙන්ම MNR හි දත්තයන් මකපු එක පිළිබඳව සොයා බලන්න. මම තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කාලයේ අපි පැහැදිලිවම ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කෙරුවා. යම්කිසි හේතුවක් නිසා පරීක්ෂණය ඉදිරියට ගියේ නැහැ. ඉතින් වර්තමාන ආණ්ඩුව පරීක්ෂණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා රටේ ආර්ථිකයටත් වඩා. ඒ නිසා එතුමන්ලාට ඒ පිළිබඳවත් පරීක්ෂණයක් කරන්න පුළුවන්. එය කළයුතු කාරණයක් ඒ මැකිච්ච දත්ත පිටිපස්සේ තිබෙන්නේ කුමක්ද කියන කාරණය ඒ අවස්ථාවෙත් ප්‍රශ්න කළා. අපි ආණ්ඩුවක් විදිහටත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න ආරම්භ කළත් 2022 න් පසු අපේ ආණ්ඩුව අතරමඟ නතර වුණා. ඊට පස්සේ ආපු ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා වර්තමාන ආණ්ඩුවට කියන්නේ මේ දත්තයන් මැකීම පිළිබඳවත් පරීක්ෂණයක් කරන්න. ඉදිරියේදීත් මෙය විය හැකි. විශේෂයෙන්ම අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මේ තාක්ෂණය සහ ඩිජිටල්කරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන නිසා. අපි පැහැදිලිවම තරුණ, උගත්, බුද්ධිමත් සහ මේ මහපොලොව හදුනන කණ්ඩායාමක් ඉදිරිපත් කරලා තිබෙනවා. අනෙක් පක්ෂවල අපේක්ෂකයින්ගේ ප්‍රතිරූපය පිළිබඳවත් ඔවුන් පිළිබඳව තිබෙන චෝදනා පිළිබඳවත් මට නිශ්චිතව ප්‍රකාශයක් කරන්න අයිතියක් නැහැ. ඒ වගේම චෝදනා කියන දේවල් හුදෙක් දේශපාලනික වශයෙන් පහුගිය කාලසීමා තුළ හැම දේශපාලන පක්ෂයකටම එල්ල කළා. අපි මේ එකිනෙකාට ඇගිල්ල දික්කරගැනීමේ දේශපාලනයෙන් ඉවත්වෙන්න ඕන. අපි පැහැදිලිවම ප්‍රතිපත්තිමය දේශපාලනයකට මාරු වියයුතුයි. මම හිතනවා අපේ දේශපාලන පක්ෂය සහ මම ඒ වෛරයෙන්, ඊරිසියාවෙන්, ක්‍රෝධයෙන් , බොරුවෙන් ජනතාව රවට්ටලා දේශපාලනය කරන තැනින් අපි ඉවත්වෙලා තිබෙනවා. ජනතාව බුද්ධිමත් . ඒ බුද්ධිමත්ව ජනතාව තීන්දු තීරණ ගනි. ඒ නිසා යම්කිසි කෙනෙක්ගේ චෝදනාවක් තිබෙනවා නම් ආණ්ඩුව උගන්ඩාවේ සල්ලි හොයනවා වගේම ඒ ගැනත් හොයන්න කටයුතු කළයුතුයි. අනුර කුමාර දිසානායක මැතිතුමා කතා කරන්නේ අඩන්න. කඳුලු එන්න දිනන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා අපිට කදුලු එන්න දිනන්න ඕනේ නැහැ. අපි කඳුලු නවත්වන්න කටයුතු කරන දේශපාන බලවේගයක්. අපි මිනිස්සු අඩවලා මිනිස්සුන්ට බොරු කියලා දේශපාලනය කරන්නේ නැහැ. අපි පැහැදිලිවම ප්‍රතිපත්තියක් විදිහට දේශපාලනය කරන්නේ. අපේ ප්‍රතිපත්ති බලය ලබාගන්න මාරුකරලා නැහැ. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තිය හුදෙක් බලය ලබාගැනීම වෙනුවෙන් වෙනස් කරලා තිබෙනවා. දේශපාලනයේ පක්ෂ මාරුවීම , කඩාගෙනයාම කියන දේ අලුත් දෙයක් නොවේ. හැබැයි ඒ පක්ෂය නැගිටිනවා. ඉතිහාසය දිහා බැලුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 08 කට වැටුණා 1977. හැබැයි නැවතවතාවක් පක්ෂයක් විදිහට ගොඩනැගුනා. අපි පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමන කෙරුවෝතින් රටේ ජනතාව සමඟ අපිට පක්ෂයක් විදිහට ගොඩනැගීම පිළිබඳව ගැටලුවක් නැහැ. හැබැයි පැහැදිලිවම පක්ෂය තුළ අභ්‍යන්තරයේ වෙනස්වීම් බොහෝමයක් තිබිය යුතුයි. ඒ සියලු වෙනස්වීම් මේ මැතිවරණයෙන් පසු සිදුකරනවා. අභියෝගයක් තිබෙනවාද? නැත්ද කියන කාරණය තීන්දු කරන්නේ රටේ ජනතාව. ජනතාවට පාර්ලිමේන්තු තුළ නියෝජනය කරන්න පුළුවන් තමන් විශ්වාස කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් මන්ත්‍රිවරු බවට පත්කරලා පාර්ලිමේන්තුවට එවයි. මම හැමදාම කියන කාරණයක් තමයි දේශපාලනය කියන්නෙම අභියෝගයක්. අපි ගණුදෙණු කරන්නේ මහජනතාව එක්කයි. මහජනතාවගේ අවශ්‍යතාවයන් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. අපි ඒවා හඳුනාගතයුතුයි. අපි යම්දුරකට හදුනා ගත්තේ නැති නිසා තමයි අපි පසුබෑමකට ලක්වෙලා තිබෙන්නේ. අපි ඒ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න සූදානම්. වෛර කරලා ඡන්ද දිනනවාට වඩා අනුකම්පාවෙන් ඡන්දය ඉල්ලන එක සාධාරණයි. යම්කිසි අවස්ථාවල නොයෙක් ව්‍යවහාරයේ පාවිච්චි කරන වචන වේදිකාවල පාවිච්චි කරනවා. අපි පක්ෂයක් විදිහට ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරන්නේ. ඒ ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලනය කරන අපි නිරන්තරයෙන් ජනතාව සමඟ සිටිනවා. අපි ජනතාවටත් දේශපාලනයටවත් වෛර කරන්නේ නැහැ. ඒ අනුව මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ නැවතවතාවක් ඡන්ද පොලට යන්න. ජනතාව රැවටුණාද? දේශපාලඥයින් ජනතාව රැවැට්ටුවාද කියන කාරණය ජනතාවම තීන්දු කළයුතු කාරණයක්. පැහැදිලිවම මාලිමාව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල කියපු බොහෝ බොරු යථාරතයක් බවට පරිවර්ථනය කරන්න බැරි බවක් බැලුබැල්මට පේනවා. පක්ෂයේ අනාගතය කියන කාරණය තීන්දුවෙන්නේ එක මැතිවරණයකින් නොවේ. පක්ෂයේ අනාගතය තීන්දු වෙන්නේ මේ මැතිවරණය තුළ ලබාගන්න ජයග්‍රහණය තුළ වගේම ඉදිරියේදී අපි පක්ෂයක් විදිහට වෙනස්වෙලා, නවීකරණය වෙලා අපේ වැරදි, අඩුපාඩු හදාගනෙ ඉදිරියට යෑම අපේ විශ්වාසය. අපි දැඩි විශ්වාසයක් තිබෙනවා ජනාධිපතිවරණයට ගත්තාට වඩා ඡන්ද සංඛ්‍යාවක් පාර්ලිමේන්තු ඡන්දය තුළ ගන්නවා. හේතු ලෙස අපෙන් ඈත් වෙච්ච බොහෝ පිරිස් සහ ප්‍රාදේශීය නායක නායකයෝ , ශාඛා සමිති, ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු පිරිස් සහ සමගි ජනබලවේගයේ එක්ක එකතුවෙච්ච පිරිසුත් අපි සමඟ එකතුවෙලා සිටිනවා. පක්ෂයක් විදිහට ජනාධිපිතිවරණයට වඩා ඉහළ ප්‍රතිපලයක් මේ පාර්ලිමේන්තු මැතිවරණයේ අපිට ලැබෙනවා. පාර්ලිමේන්තුව තුළ අපේ දේශපාලන හැසීරීම අපි තීරණය කළයුත්තේ පාර්ලිමේන්තුව ඇතුලේ සංයුතියට අනුකූලව. අපි අද බැලුවත් පේනවා බොහෝ දේශපාලන පක්ෂ අපි හැර අනෙකුත් දේශපාලන පක්ෂ ඇල්පිටිය ප්‍රතිපලය දිහා බැලුවාම යම් පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. ඒ නිසා අපිට වඩා කලබලවෙලා ඉන්නවා වර්තමාන ආණ්ඩුව බහුතරය ගන්න පුළුවන්ද ? බැරිද කියන කාරණය. එ් පිළිබඳව තව දින කිහිපයකින් තීන්දු කරන්න පුළුවන්. හැබැයි පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපේ මන්ත්‍රී කණ්ඩායම අපි විශ්වාස කරන ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්න පෙනි සිටිනවා. ඒ වගේම මේ ආණ්ඩුව ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන තැනට තීරණාත්මක සාධකය සහ බලපෑම් කරන්න පුළුවන් තැනට අපි කටයුතු කරනවා. අපේ වෘත්තිය සමිති ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති වගේ කඩාකප්පල්කාරි නැහැ. අපි ගුරුවරයා ශිෂ්‍යාව පාවලා දිලා ගුරුවරයාගේ පඩි වැඩි කරන්න ඉල්ලපු වෘත්තිය සමිති නොවේ. අපි පැහැදිලිවම වෘත්තිය සමිති ව්‍යාපාර ඇතුලෙත් , පක්ෂය ඇතුලෙත් අලුතින් රැකියා උත්පාදනය කරන තැනට මේ රටේ ආර්ථිකය පරිවර්ථනය කරන්න අපි මැදිහත් වෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්රය තුළත් ලොකු වෙනසක් විය යුතුයි. අපි අපේ පාක්ෂිකයා වගේම මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් වගේම මේ රට වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කණ්ඩායමක් විදිහට පෙනි සිටිනවා. අපේ ශක්තිමත් කණ්ඩායමක් සිටිනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති විශ්වාස කරන කණ්ඩායමක් සිටිනවා. ඒ මහින්ද රාජපක්ෂ කියන චරිතයේ අඩුව අපි කිසිකෙනෙක්ට පුරවන්න බැහැ. හැබැයි පාර්ලිමේන්තුව තුළ අපේ කඳවුරට සාධාරණයක් කරන්න අපි සූදානම්. ආණ්ඩුව කියන්න ඕන ඇයි ත්‍රී පෝෂ සමාගම වහන්නේ කියන කාරණය. මම දැක්කා ගැසට්ටුවක් ගැහුව්වේ නැහැ කියලා ආයේවතාවක් මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුවට තිබෙන ලොකුම අභියෝගය ආණ්ඩුවමයි. මේ ආණ්ඩුවට තිබෙන ලොකු අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ දේශපාලන බලවේගය. කිසිකෙනෙක් එක මතයක නැහැ. ආණ්ඩුව කරන දේවල් බොහෝ කාරණා ආණ්ඩුව දන්නෙත් නැහැ. ආග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරන සමහර ප්‍රකාශ ජනාධිපතිවරයා දන්නෙත් නැහැ. මේ ආණ්ඩුවේ තාම තුන්දෙනයි ඉන්නේ. ගැසට්ටුවක් ඒ තුන්දෙනා කතා කරලා ගැහුව්වනම් ඉවරයි. එසේ නැතිනම් නොගහා සිටියානම් හොඳයි අඩුම තරමේ පාර්ලිමේන්තුව පත්වෙනකන්. මේ තුන්දෙනෙක්ට මේක කතා කරලා බේරගන්න බැරිනම් 25ක් තව එකතු වුණාම කොහොම වෙයිද කියලා හිතාගන්න අමාරුයි. කෙසේ වෙතත් පැහැදිලිව ආණ්ඩුව ඒ ජනතාවට දීපු කාරණා ඉෂ්ට නොකරන බවක් පේනවා. තිලක් තේනුවර,මාධ්‍ය අංශ ප්‍රධානි,මාධ්‍ය මධ්‍යස්ථානය,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.






















