මැයි 09 වනදා සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 1,059 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 08 දෙනා අද පස්වරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
මෙහිදී එක් එක් සැකකරුගේ වරද සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.
“ස්වාමිනි, මෙම නඩුවේ 06 වැනි සැකකරු ලෙස නම් කර තිබෙන සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩෑන් ප්‍රියසාද් අදාළ පහරදීම වූ අවස්ථාවේ තමන්ට කඩුවකින් පහරදීමට උත්සාහ දැරූ බවට බුද්ධික උමේෂ් නමැත්තා සාක්ෂි දී තිබෙනවා.”
“එසේම එම සාක්ෂියේම සඳහන් වෙනවා සමන්ලාල් ප්‍රනාන්දුගේ කණ්ඩායම පොලුවලින් පහරදුන්නා කියලා. ඒ වගේම මාතර විමලදේව හිමි තමන්ව සමන්ලාල් නැමැත්තා තල්ලු කළ බවටත් සාක්ෂි දී තිබෙනවා. කසුන් චන්ද්‍රසිරි නමැත්තාගේ සාක්ෂියේ සඳහන් වෙනවා ගෝල්ෆේස් බණ්ඩාරනායක පිළිරුව අසලින් පැමිණි ජයන්ත රෝහණ කූඩාරම් කඩමින් පහරදුන්නා කියලා.”
“එමෙන්ම පුෂ්පලාල් කුමාරසිරි නමැති සැකකරු කිතුණු පියතුමන්ලා දෙදෙනෙකුට පහරදෙනවා ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. එබැවින් ස්වාමිනි මේ සිද්ධිය පිළිබඳවත්, එයට නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත් සමාජය තුළ මහජන කැළඹීමක් ඇතිවෙලා තියෙනවා. එම නිසා මෙම සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. “
මෙහිදි සැකකාර ඩෑන් ප්‍රියසාද් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයන්ත නානායක්කාර මහතා පැවසුවේ ඩෑන් ප්‍රියසාද් කඩුවක් අතින් ගත් බවට සාක්ෂි තිබුණද, ඔහු පහරදුන් බවට සාක්ෂි නොමැති බවය.
එමෙන්ම සැකකාර මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා මහතා සිය සේවාදායකයා වෙනුවෙන් මෙසේ කරුණු දැක්විය.
“ස්වාමිනි, අරලියගහ මැදුරේ පැවති රැස්වීමේදී මගේ සේවාදායකයා මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැති තනතුරේ සිටිය යුතු බවට කතාවක් පවත්වා තිබෙනවා. නමුත් එතන ඔහුගේ චේතනාව අගමැති තවදුරටත් සිටිය යුතුය යන්න පමණයි. නමුත් මගේ සේවාදායකයා ගෝඨාගෝගමට ගිහිනුත් නැහැ. දන්නෙත් නැහැ. ඔහු අරලියගහ මන්දීරයෙන් පිටතට ආ අවස්ථාවේ චීවරධාරියෙක් මගේ සේවාදායකයාගේ ආධාරකරුවෙකුට පහර දී තිබෙනවා. ඒ අවස්ථාවෙයි සමන්ලාල් චීවරධාරියාව තල්ලු කරලා තියෙන්නේ. පස්සේ ඒ චීවරධාරියාම ඔහුව තල්ලු කළා කියලා ප්‍රකාශයක් දීලා.”
එසේම මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විශේෂ කරුණු දැක්වීමක් සිදුකර තිබුණි.
“ස්වාමිනි, මේ නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා පොලීසියට උපදෙස් දී තිබෙනවා, 22 දෙනෙකු අත්අඩංගුවට ගන්න කියලා. මෙවැනි විනාශකාරි තත්ත්වයක් උදාවුණේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය රාජකාරිය පැහැර හැරපු නිසා. ගෝල්ෆේස් එක ඉස්සරහා කඳුළු ගෑස් ගැහුවානම්, ජල ප්‍රහාර එල්ල කළානම් මෙවැනි විනාශයක් වෙන්නේ නැහැ. ඔහු සිය රාජකාරිය පැහැර හැරපු නිසයි සියගණනක් නිවාස විනාශවෙලා, කෝටි ප්‍රකෝටි ගණනක දේපළවලට හානි වුණේ. තරු ගැහුවාට වැඩක් නැහැ වැඩ නැත්තම්.”
“ජොන්ස්ටන් මගේ මිත්‍රයෙක්. නමුත් නීතිය අතට ගන්න ඔහුට බැහැ. ඒ නිසා නීතිපති නම් සඳහන් කළ සියලුදෙනා අත්අඩංගුවට ගන්න. හාල්මැස්සෝ අල්ලලා වැඩක් නැහැ. තෝරු, මෝරු අල්ලන්න.”
කෙසේවෙතත් මෙම කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයා කියා සිටියේ, නීතිපතිවරයා කිසිවිටක සැකකරුවන් 22දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නොපැවසු අතර සිද්ධියට සම්බන්ධ 22 දෙදෙනෙකුගේ නම් ලබාදී ඔවුන් සැකකරුවන් ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් පමණක් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවය.
මෙහිදී මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, ජනාධිපති නීතිඥවරයා පවසන අන්දමට මෙම විනාශය වළක්වා නොගත් නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයිදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය.
එයට පිළිතුරු දෙමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියේ නිලධාරින්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබුණද, එම ප්‍රකාශවල සත්‍යය, අසත්‍යභාවය තහවුරු කරගත යුතු බවය.
කෙසේවෙතත් එම පිළිතුර සම්බන්ධයෙන් සිය බලවත් අප්‍රසාදය පළ කළ මහෙස්ත්‍රාත්වරයා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කළේය.
“මොකක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔය අනුගමනය කරන දෙබිඩි ක්‍රියාපිළිවෙල. මෙම සිද්ධියට අදාළව සටහන් කරගත් සාක්ෂි මත පමණක් මේ වෙද්දි සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව ඇති ප්‍රකාශ පිළිබඳව ඔබ සත්‍ය අසත්‍යභාවය තහවුරු කරගැනීමක් කළේ නැහැ. ඇයි මේ නිලධාරින් සම්බන්ධයෙන් පමණක් වෙනමම ක්‍රියා පිළිවෙතක්. මම දැඩිව කියනවා සැකකරුවන් තෝරාගැනීම් එපා. සැමට එරෙහිව සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න. මම මේ නඩුවෙදි ඉන්නේ මධ්‍යස්ථ තැනක. ඒ හින්දා ඔබටත් මේක තවත් එක නඩුවක් විතරයි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි උපදෙස් ලබාගෙන රාජකාරි පැහැර හැරිය නිලධාරින්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න. නැත්නම් මම නියෝගයක් දෙන්නම්.”
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකාබැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් 08 දෙනා මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
කෙසේවෙතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් බන්ධනාගාර බස්රථයට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ යම් භාණ්ඩ මලු කිහිපයක් රැගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ඇතුළු කණ්ඩායමක් අධිකරණයට පැමිණිය ද සැනෙකින් අධිකරණ ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ව හරවා යවනු දක්නට ලැබුණි.






















