- වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක……….
ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය පාලකයින් මේ රටට සිදුකළ වැඩකොටසෙන් අංශු මාත්‍රයක් කරගැනීමට හැකියාවක් නොමැති බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2026.11.09) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,
“ අපි දන්නවා මේ වන විට ලංකා ඉතිහාසයේ කිසිදු දවසක නොවුවිරු ආකාරයට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉහළ අධිකරණවල විනිශ්චයකාරධූර පුරවන්නේ නැතිව පුරප්පාඩු කර පවත්වාගෙන යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 04 ක් ද අභියාචනාධිකරණයේ පුරප්පාඩු 07 ක් ද මහාධිකරණයේ පුරප්පාඩු ඉතා විශාල සංඛ්‍යාවක් ද තිබෙනවා. මේ සියලු පුරප්පාඩු පුරවන බවට අනුර කුමාර දිසානායක පාස්කු නඩුවේ තීන්දුව දුන්වහාම සිදුකරන බවට මහජනතාව ඉදිරියේ ප්‍රකාශ කර සිටියා. නමුත් පාස්කු තීන්දුව ලබාදීලා ඉතා විශාල කාලයක් ගතවී තිබෙනවා. නමුත් අනුර කුමාර දිසානායක මේ වන තෙක් කටයුතු කර නැහැ ඒ අවශ්‍ය විනිශ්චයකාර තනතුරුවල පුරප්පාඩු පුරවන්න. මෙයින් අපිට පෙනි යන්නේ ඉහළ අධිකරණවල පුටුව හිස්ව තබාගෙන පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරනවා ඔවුන්ට අවශ්‍ය ආකාරයට නඩු තීන්දු, නියෝග ලබාදුන්නේ නැතිනම් අවශ්‍ය උසස්වීම් ලබාදෙන්නේ නොමැති බවට. මේ රටේ කිසිදු රාජ්‍ය නායකයෙක් මේවනතුරු මේ රටේ අධිකරණවල මේ ආකාරයේ පුරප්පාඩු පුරවන්නේ නොමැතිව බලාගෙන සිටියේ නැහැ. මේ රටේ අධිකරණයේ නඩු ප්‍රමාදවීම වළක්වන්න කියලා 22 වන සංශෝධනය ගෙන එන ලැබු අනුර කුමාර දිසානායක මේ වන විට මේ අධිකරණවලට විශ්චයකාරවරුන් පත්නොකර ඒ විනිශ්චයකාර තනතුරුවල පුරප්පාඩු ඇමක් ලෙස තබාගෙන සිටීම සම්බන්ධයෙන් මේ රටේ ප්රජාතන්ත්රවාදය අගය කරන සියලූම ජනතාව විරුද්ධ වියයුතුයි.
පහුගිය දවස්වල ගම්පහ මහේස්ත්‍රාත් තුමාව සිටිසැටියේ ස්ථානමාරුවීමක් ලබාදුන්නා. ඊට පෙර එතුමා මේ රටේ පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහස කළ බවට තීන්දු කරන ලෙස ඉල්ලමින් ඉහළ අධිකරණයට යොමු කිරීමක් කළා. අපි එම කාරණය සම්බන්ධයෙන් සොයා බැලුවා. ගම්පහ මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබෙන්නේ, මේ පොලිසිය ආණ්ඩුවේ අවශ්‍යතාවය පුරවන්න බොරුවට කුඩු අල්ලනවා කියලා අහිංසක තරුණයින්ව කුඩුපැකට් සමඟ ඉදිරිපත් කිරීමට එරෙහිව පොලිස්පතිවරයාට කළ නියෝගයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නගත තත්වය ඇතිවී තිබෙන්නේ. ඒ මේ රටේ තරුණයින්ගේ නිදහස, අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරපු මහේස්ත්‍රාත්වරයෙක්. මීටපෙරද මෙවැනිම තත්වයක් සිදුවෙනවා. මේ ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක් විරුද්ධව ඔවුන් අත්තඩංගුවට ගන්නා ලෙස නියෝග දුන් ගල්කිස්සේ මහේස්ත්රාත්වරයාටත් මේ ආකාරයෙන්ම සිටිසැටියේ ස්ථානමාරුවක් ලැබුණා. මේ තත්වය මේ රටක නීතියේ ආධිපත්‍යයට ඉතාම හානිකරයි. ඒ නිසා අපි වහාම ඉල්ලා සිටිනවා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් මෙවැනි තත්වයක් රටක නීතියේ ආධිපත්‍යයට හානිකර බැවින් මේ සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීමේ වගකීමක්,මේ ආකාරයෙන් මාරුකිරීම් සිදුකරන විට ඒ සිදුකරන්නේ කුමණ පදනමක් යටතේද කියන කාරණය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් තිබෙනවා. මේ ආණ්ඩුවට තිබෙන්නේ තව අවුරුදු දෙකහාමාරක් වැනි කාලයක්. ඒ නිසා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ මේ ආණ්ඩුවේ වැරදි ක්‍රියාවට නතුවෙන්න එපා, ඔබ නිවැරදි තීන්දු තීරණ ගන්න. ඉදිරි රජයක් යටතේ ඔබ වෙනුවෙන් පෙනිසිටිනවා, ඔබ වෙනුවෙන් සිදුකළයුතු සියලුම යුතුකම්, ඔබව ආරක්ෂා කිරීම අපි සිදුකරනවා.
ඒ වගේම බුද්ධ ශාසනයට සහ මහා සංඝරත්නයට සිදුකරනු ලබන පහරදීම් දිහා බැලුවිට අපි දැක්කා ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීමේ සිද්ධියේදී මේ ආණ්ඩුව කටයුතු කරපු ආකාරය. ඉන්පසුව එයට විරුද්ධව මහාසංඝයා වහන්සේ මහනුවර සිට කොළඹට වැඩමකරවීමේදී අතරමගදි උන්හන්සේලාට දානය ලබානොදෙන්න, නවතින්න තැනක් නැතිවෙන්න පන්සල්වලට ගොස් කොතරම් බලපෑම් කළාද කියන කාරණය අපි පුද්ගලිකව දන්නවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ ජනාධිපති මන්දිරය වටේ ඕනෑතරම් පුද්ගලයින් රැදි සිටියා. ඒ නිදහස එතුමා දුන්නා. නමුත් මහාසංඝයා වහන්සේ ජනාධිපති මන්දිරය අසලට වැඩමකර අවස්ථාවේදී වත්මන් ආණ්ඩුව අධිකරණ නියෝගයක් ගෙනවිත් උන්වහන්සේලාව ඉවත් කළා. ඉන්පසු විහාර මහාදේවි උද්‍යානයට වැඩමකර පසු එහිදිද බොහෝ කරදර කර ස්වාමීන් වහන්සේලාට පහරදි එම ස්ථානයෙන් ඉවත්කරන්න උත්සහ කළා. ඊයේ පෙරේදා සිදුවීම වාර්තා වෙන්නේ අනුරාධපුරයෙන්. අනුරාධපුරය යනු පූජා භූමියක්. මහා සංඝයා වහන්සේලාට වැඩ සිටින්න සියලූම අයිතිවාසිකම්, හිමිකම් තිබෙන ස්ථානයක්. එවැනි ස්ථානයකත් මහා සංඝයා වහන්සේලාට පහර දෙනවා.මේ ආණ්ඩුවට හිතවත් ස්වාමීන් වහන්සේලා කිහිපනමක් අරගෙන, වෙනත් සමාජ මාධ්‍ය යොදාගෙන මහා සංඝරත්නයට එරෙහිව ඉතාම පහත් ආකාරයේ ප්‍රචාරයන් සහ භේද ඇතිකිරීමට උත්සහ කරනවා. විශේෂයෙන්ම සංඝ භේදයක් ඇතිකරන්න උත්සහ දැරීමක් තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, අපි ඉගෙන ගෙන තිබෙන ආකාරයට මිනිසෙක්ට කරන්න පුළුවන් ලොකුම පාපකර්ම පහක් තිබෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් වහන්සේ මරණයට පත්කිරීම, ද්වේශසහගත ලෙස බුදුන් වහන්සේගේ ලේ සෙලවීම සහ සංඝභේදය. මේ ආණ්ඩුව මේ සිදුකරන්නේ ඒ ආනන්තරීය පාපකර්මවලින් එකක්. මේ රටේ ජනාධිපතිවරයා මේ පිටුපස සිටිනවා නම් ඔහු මෙයට වගකිවයුතුයි. අපි ජනාධිපතිතුමාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා වහාම සංඝයා වහන්සේට එරෙහිව කරන මේ කුමන්ත්‍රණය නතර කර මේ රටේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න , ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ඒ පියවර අරගන්න.
ඒ වගේම සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියලා ඉතාම භයානක පනත් දෙකක් අනුර කුමාර ගේනවා. මන්ද ඔවුන් මේ රටේ ජනතාවට පොරොන්දු ලබාදුන්නා ඔවුන් පැමිණ ලංකාව පොහොසත් රටක්, ජනතාවට ඉන්න හිතෙන රටක්, සශ්‍රීක රටක් කරනවා කියලා. මේ රටේ සොරකම නතර කරනවා කියලා ප්‍රකාශ කළා. හැබැයි ජනතාවට අවබෝධ වෙමින් තිබෙනවා මෙතෙක් සිටිය පාලකයින් මේ රටට කරපු දේවල්වලින් අංශු මාත්‍රයක් කරගන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ කියලා. මෙතෙක් සිටිය පාලකයෝ ජනතාවට ලබාදීපු නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය අද ඒ ආකාරයෙන් ලබාදෙන්න අසමත් වී තිබෙනවා. රෝහල්වල බෙහෙත් , වෛද්‍යවරු නැතිවී තිබෙනවා. මෙවැනි තත්වයක් යටතේ ඔවුන් දීපු පොරොන්දු ඉටුකරගන්න බැරිව ඒ වගේම ජනතාව විසින් පත්කරනු ලැබු තමන්ගේම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හොරකම් පිට හොරකම් සිදුකරද්දි මේ සම්බන්ධයෙන් කිසිදු කටුත්තරයක් දෙන්න නැති ආණ්ඩුව මේ වන විට මර්ධනකාරී අනපනත් තුළින් ඔවුන්ගේ බලය තහවුරු කරගන්න උත්සහ කරනවා. හැබැයි මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා මේ පනත හකුලාගන්නා ලෙස. ඒ වගේම මේ රටේ විද්වත් වෘත්තිකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පිළිගත් බුද්ධිමතුන් සියලුදෙනා පනත් දෙක හකුලාගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම මේ රටේ ආගමික නායකයින් ඉතාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා තිබෙනවා මේ පනත් දෙක හකුලවාගන්න ලෙස. හැබැයි ඔබතුමා මේ මර්ධනය තුළින් බලය තහවුරු කරගන්න පුළුවන් කියලා ඔබතුමා විශ්වාස කරනවා නම් එය ඔබතුමාට වැරදිලා.
ඒ වගේම මේ රටේ මේවනතුරු සිදු නොවුණු ඉතාම ජුගුප්සාජනක සිදුවීමක් මේ ලඟදී අපි දැක්කා. මේ ජනතා විමුක්ති පෙරමුණේ නගරාධිපතිවරයෙක් එළිපිට මාධ්‍ය තුළින් පගාව ඉල්ලා සිටීමක් සිදුකරනවා. ලංකා ඉතිහාසයේ කිසිදු රජයක්, පාලකයෙක්, ආණ්ඩුවක් තුළින් සිදුනොවු ඉතාම අශිෂ්ඨ වූ ආකාරයේ ක්‍රියාවක් හැටියට අපි දකින්නේ. ඒ වගේම මේ රටේ මේ දූෂණය, මර්ධනය මැඩලන්න කියලා පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව, ඒ වගේම විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ලොකු හඩක් නගපු වත්මන් අග්‍රාමාත්‍යතුමිය, ජනාධිපති මේ එළිපිට ජනතාවගෙන් පගාව ඉල්ලපු නගරාධිපතිවරයා ගැන ගන්නා තීන්දුව කුමක්ද කියන කාරණය දිහා අපි ඉතාම විමසිල්ලෙන් බලාගෙන සිටිනවා.”යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.
තිලක් තේනුවර,
මාධ්‍ය අංශ ප්‍රධානි,
මාධ්‍ය මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.






















